2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ජිම්නාස්ටික් හිටපු ලොක්කෝ තුනකට තනතුරු තහනම්!

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ හිටපු නිලධාරීන් තිදෙනකුට නැවත කිසිදු ක‍්‍රීඩා සංගමයක තනතුරුවලට පත්වීමට නොහැකි වන ලෙස තහනමක් පැනවීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ 2012 සහ 2013 වසරවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රියන්ත පතිරණ, ලේකම්වරයා ලෙස කටයුතු කළ උදාර එස්. ලියන්වල සහ භාණ්ඩාගාරික ධූරය දැරූ කපිල ජීවන්ත යන මහත්වරුන්ට මෙම තහනම පනවා තිබේ. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ 2012 සහ 2013 යන වසරවල ගිණුම් වාර්තා ක‍්‍රීඩා පනතට අනුකූලව නියමිත කාලය තුළ විගණනය සඳහා යොමු නොකිරීම මෙම තහනම පැනවීමට හේතු වී තිබේ.

ජිම්නාස්ටික් සංගමයේ හිටපු ලේකම් සහ භාණ්ඩාගාරිකවරයාට එරෙහිව පසුගිය වසරේ දෙසැම්බර් මස 21 වැනිදා පැවැත්වූ පරීක්‍ෂණය මත ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර මහතාගේ අත්සනින් අදාළ තහනම ලිඛිතව ඉදිරිපත්කර තිබේ. කෙසේ වෙතත් වෙනත් ක‍්‍රීඩා සංගම් කීපයකම මෙවැනි චෝදනා එල්ල වූ නිලධාරීන් කිහිපදෙනකු ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරුවලටද පත්ව සිටින අතර ඇතැම්හූ ඔලිම්පික් නිලවරණයේදී ඡන්දය ද පාවිච්චි කළහ. ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට, ක‍්‍රීඩා සංගමයෙන් සංගමයට වෙනස් වන්නේ දැයි ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා ප‍්‍රශ්න කරති.

මේ පිළිබඳව කළ විමසුමේදී ජිම්නාස්ටික් සංගමයේ හිටපු ලේකම් උදාර එස්. ලියන්වල මහතා පැවසුවේ තමන් මෙම තහනම සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයට අභියාචනයක් යොමු කරන බවයි.

“අපි නියමිත පරිදි ගිණුම් වාර්තා ලබාදී තිබෙනවා. මෙය පුද්ගලයන් කීපදෙනකුගේ කඩාකප්පල්කාරී වැඩසටහනක්. අපිට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් සාධාරණය ඉටු නොවුණ හොත් අධිකරණයේ පිහිට පතනවා.”

♦ සටහන: වරකාගොඩ ගමගේ