2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

සුපිරි හතරේ තරගවලින් වැඩක් වුණාද?

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය ලෙස දැන් පැවැත්වෙන ‘සුපිරි හතර’ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලිය පුහුණුකරුවන්ගේ අභිමතයට යටවී ඇති බව පසුගිය සතියේ සටහන් කළෙමු. මේ වනවිට එම තත්ත්වය තවදුරටත් බරපතළ වී ඇති බව දෙවැනි සතියේ දඹුල්ලේදී පැවැති තරගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වේ.

මෙම තරගාවලියට කණ්ඩායම්වලට ක‍්‍රීඩකයන් වෙන්කිරීමේ සිට කිසිදු වගකීමකින් තොරව සහ උපරිම ප‍්‍රයෝජනයක් නොලැබෙන ලෙස කටයුතු කර තිබීම කැපී පෙනිණි. තරගාවලියේදී පුහුණුකරුවන් තරග විසඳුමකින් තොරව අවසන් කිරීමට කටයුතු කරන බවත් සුළු හෝ අවදානමක් ගැනීමේ සූදානමක් නොමැති බවත් පැහැදිලිය. මෙවැනි තරගාවලියකදී අවදානම යනු ක‍්‍රීඩකයන්ට පීඩනය යොමු වීමය. පීඩනය යනු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පරම සත්‍ය වේ. පීඩනය දරාගැනීම පුහුණු නොවූ ටෙස්ට් ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තරය ජයගත නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත. 

ගාල්ල පිල සහ දඹුල්ල පිල අතර දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේ තෙවැනි දිනයේ ක‍්‍රීඩාව ආරම්භ කරන විට දඹුල්ල පිල දෙවැනි ඉනිම වෙනුවෙන්  ඕවර 35 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 138 ක් ලබා සිටියේය. එහිදී සචිත‍්‍ර සේරසිංහ ශතකයක් රැස් කළද එය ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කිසිදු ප‍්‍රයෝජනයක් වේ යැයි විශ්වාස කළ නොහැක. සේරසිංහ ටෙස්ට් පිල තේරීමේදී අවධානයට ලක් නොවන ක‍්‍රීඩකයෙකි.  

දඹුල්ල පිල ඉන් නොනැවතී සිවුවැනි දිනයේ තවත් ඕවර 54ක් මන්දගාමීව පන්දුවට පහර දෙමින් කඩුලු හතකට ලකුණු 325 ක් රැස්කරමින් ගාල්ල පිලට  ඕවර 36 කදී ලකුණු 315 ක ඉලක්කයක් බාර කළේය. දඹුල්ල පිල පළමු ඉනිමේ පරාජය ලබා ප‍්‍රසාද ලකුණු අහිමිව සිටින අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් ප‍්‍රශ්න කළ යුතුය. දඹුල්ල පිල සිවුවැනි දිනයේ ඕවර 35 කදී වේගවත් පිතිහරඹයක යෙදමින් ලකුණු 300කට වැඩි ඉලක්කයක් ගාල්ල පිලට බාර කළේ නම් තරගයේ ප‍්‍රතිඵලයක් ලබාගැනීමේ අවස්ථාව තිබුණි. එවිට ගාල්ල පිලට ඕවර 60 කදී පමණ එම ඉලක්කය හඹායෑමට සිදුවේ. ඒ වනවිට දඹුල්ල තණතීරුව හැසිරුණු ආකාරයත් විදුලි ආලෝකය මධ්‍යයේ ලකුණු රැස්කිරීමට සිදුවීමත් සමඟ දඹුල්ල පිලට පූර්ණ ජයග‍්‍රහණයක් දක්වා යෑමේ අවස්ථාව නොතිබුණා නොවේ. එසේ වූයේ නම් දඹුල්ල පිලට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා මෙම සති අන්තයේ ආරම්භ වන තරගයට පීඩනයකින් තොරව මුහුණදීමේ අවස්ථාව තිබුණි. ගාල්ල පිල එම තරගයේ පළමු ඉනිමේ ජයත් සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර දඹුල්ල පිල දෙවැනි ස්ථානයේ පසුවෙයි.

දඹුල්ල පිලේ පුහුණුකරු ලෙස වර්තමාන ක‍්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවකු වන සුමිත‍්‍ර වර්ණකුලසූරිය මහතා කටයුතු කළේය. තරගය ක‍්‍රියාත්මක වනවිට තීරණ ගැනීමේ වගකීම පැවරී ඇත්තේ පුහුණුකරු වෙතය. දඹුල්ල පිලේ පුහුණුකරු දෙපිලටම පීඩනයේ තරග කිරීමට තිබූ මහඟු අවස්ථාවක් අහිමිකර තිබේ. මෙම තරග පරාජය වූවද ජය ලැබූවද පුහුණුකරුවන්ට අමතරව කිසියම් දෙයක් ලැබෙත්ද? එසේ නැත්නම් අහිමිවන්නේද? යන්න පිළිබඳව අපි නොදනිමු. නමුත් මෙහිදී පුහුණුකරුගේ තීරණය හේතුවෙන් මෙම තරගාවලියේ බලාපොරොත්තු වූ උපරිමය නොලැබුණු බව පමණක් කිව හැකිය. 

දඹුල්ල පිලට මෙම තරගයේදී රංගන හේරත් ක‍්‍රීඩා කළ අතර එම සංචිතයට ඇතුළත්ව සිටින යොවුන් වමතින් දඟපන්දු යවන්නකු වන අමිල අපෝන්සුට තරග දෙකේදීම ස්ථානය නොලැබීම කැපී පෙනිණි.

කොළඹ පිල නියෝජනය කරමින් පළමු තරගයට චාමර සිල්වා ක‍්‍රීඩා කිරීමද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කිසිදු ප‍්‍රතිඵලයක් නොමැත. එහිදී චාමර පළමු ඉනිමේදී ලකුණු 10 කට දැවී ගියේය. කොළඹ කණ්ඩායමෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් කියවෙන්නේ ඇන්ජලෝ පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් චාමර සිල්වා එම තරගයට ක‍්‍රීඩා කළ බවයි.  

♦ සටහන: යොහාන් භාසුර