2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ගෝල්ඩ්කෝස්ට්හිදී බිඳවැටුණු අපේ මලල ක්‍රීඩා සිහිනය

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පසුගිය ඉරිදා අවසන් වූ 21වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී බර ඉසිලීම සහ බොංක්සිං යන ඉසව්වලින් පදක්කම් හයක් දිනාගනිමින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 31 වැනි තැනට පත්විය. එහිදී බර ඉසිලීමේ ඉසව්වෙන් ඉන්දික දිසානායක දිනාගත් රිදී පදක්කම නොවන්නට ශ්‍රී ලංකාව පදක්කම් දිනූ රටවල් 43 අතරින් 37 වැනි ස්ථානයට පත්වීමට ඉඩ තිබිණි. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලක බොක්සිං කාන්තා ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට අනූෂා කොඩිතුවක්කු සමත් වූවාය. තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර, ශ්‍රී ලංකාවට වසර 68 කට පසුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලක බොක්සිං පිරිමි පදක්කමක් ගෙන ඒමට සමත් වූහ.

අනූෂා ඔලිම්පික් පදක්කම්ලාභි ඉන්දීය ක‍්‍රීඩිකා මේරි කෝම් හමුවේ කිලෝග‍්‍රෑම් 45ත් 48ත් අතර බර පංතියේ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වුවද ඇයට ලෝකඩ පදක්කම හිමිවිය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක තිවංක රණසිංහ කිලෝග‍්‍රෑම් 46 ත් 49 ත් අතර බර පංතියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර ඔහු අවසන් පූර්ව තරගයේදී එංගලන්ත ක‍්‍රීඩක ගලාල් යෆාරි හමුවේ පරාජයට පත්වුවද ඔහුටද ලෝකඩ පදක්කමක් හිමිවිය. බොක්සිං ක‍්‍රීඩක ඉෂාන් බණ්ඩාර කිලෝග‍්‍රෑම් 52 බර පංතියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක‍්‍රීඩක ගෞරව් සොලොන්කි හමුවේ පරාජයට පත්වීමෙන් ලෝකඩ පදක්කමින් සෑහීමට පත්වීමට සිදුවිය. 

ශ්‍රී ලංකාව 1930 වසරේ සිට පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට සහභාගි වූවද අනූෂා හිමිකරගත් පදක්කම දක්වා බොක්සිං කාන්තා ඉසව්වකින් පදක්කමක් දිනා නොතිබුණි. ශ්‍රී ලංකාව අවසන් වරට 1950 වසරේ ඕක්ලන්ඩ්හිදී පැවැති සිවුවැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී බොක්සිං පිරිමි ඉසව්වලින් පදක්කම් තුනක් දිනාගෙන සිටියේය.
බර ඉසිලීම සහ බොක්සිං යන ඉසව්ව හැරෙන්නට මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ සෙසු ක‍්‍රීඩා 13 න් අවම වශයෙන් ලෝකඩ පදක්කමක් හෝ දිනාගැනීමට අපොහොසත් වීම කැපී පෙනේ. මෙවැනි ක‍්‍රීඩා උළෙලකදී මලල ක‍්‍රීඩා පිළිබඳව බොහෝවිට බලාපොරොත්තු තබාගත්තද තරගාවලියට සහභාගිත්වයේ සිටම එවැනි බලාපොරොත්තුවක් නොතිබුණි. වර්තමාන තත්ත්වය එසේ වුවද 90 සහ 2000 දශකය අතර කාලයේ ශ්‍රී ලංකාව මෙවැනි ක‍්‍රීඩා උළෙලවලදී මලල ක‍්‍රීඩාවෙන් බලාපොරොත්තු තැබීය. 1998 වසරේ මැලේසියාවේදී පැවැති 16 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රීයානි කුලවංශ මීටර 100 කඩුලු පැන දිවීමේ ඉසව්වේ රිදී පදක්කමද, සුගත් තිලකරත්න මීටර 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද, දිනාගැනීමට සමත් වූහ.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා සහභාගිත්වය සහ ප‍්‍රතිඵල දෙස බැලීමේදී මලල ක‍්‍රීඩාවේ කඩාවැටීම මනාව පැහැදිලි වේ. උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර වසර 15 කට ආසන්න කාලය සිට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම මෙහිදී වඩාත් කැපී පෙනේ. 34 හැවිරිදි මංජුල මෙම ක‍්‍රීඩා උළෙලේ පළමු වටයේ තරගයේදී මීටර 2.21 ක් උස පනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද අවසන් තරගයේදී ඔහු මීටර 2.18 ක් හෝ පැනීමට අපොහොසත් විය. ඒ අනුව ඔහු 13 වැනි ස්ථානයට එසේත් නැත්නම් අවසන් ස්ථානයට පත්විය. උස පැනීමේ ඉසව්වට තරුණ ක‍්‍රීඩකයකු නිර්මාණය කිරීම ප‍්‍රමාද වී ඇති බව මංජුල ලැබූ ප‍්‍රතිඵලයෙන් පැහැදිලි වේ. මංජුල පසෙක තබා තරුණ ක‍්‍රීඩකයකුට ප‍්‍රධාන තරගාවලිවල අත්දැකීම් ලබාදීමට මලල ක‍්‍රීඩා බලධාරීන් නොපමාව කටයුතු කළ යුතුය.

මෙහිදී මලල ක‍්‍රීඩා ඉසව්වලින් සැළකිය යුතු දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා පිරිමි මීටර 100 සහාය දිවීමේ කණ්ඩායමට හැකිවූවා යැයි කිව හැකිය. ශ්‍රී ලංකා 100x4 සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ හයවැනි ස්ථානයට පත්වෙමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්විය. එහිදී හිමාෂ ඒෂාන්, ෂෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රෆ් සහ විනෝද් ද සිල්වා, ලෝක මලල ක‍්‍රීඩාවේ ප‍්‍රබල රටවල්වලට අභියෝගයක් වෙමින් තත්පර 39.08 ක කාලයක් වාර්තා කළහ. එහිදී හිමාෂ ඒෂාන් පළමු ධාවකයා ලෙස කැපී පෙනෙන ධාවනයක යෙදුණු ආකාරය දැකගත හැකිවිය. ආබාධයකට ලක්ව සිටි ෂෙහාන් අඹේපිටිය නැවතත් ප‍්‍රධාන ධාරාවට පැමිණීමද ශ්‍රී ලංකාව පැත්තෙන් සුබදායකය. එහිදී ප‍්‍රබල එංගලන්ත සහාය දිවිමේ පිල මෙම වාරයේ හොඳම කාලය ලෙස තත්පර 38.13 කින් තරගය නිමකරමින් රන් පදක්කම දිනාගැනීමට සමත්විය. එහිදී ප‍්‍රබල ජමෙයිකානු කණ්ඩායම තෙවැනි ස්ථානයට වැටීම කැපී පෙනුණි.

අමෙරිකාවේ පදිංචිකාරියක් වන හිරුණි විජේරත්න කාන්තා මැරතන් තරගය පැය 2.49:38 කින් 11 වැනි ස්ථානයට පත්වූවාය. මෙම ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව ක‍්‍රීඩා 15 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 80 ක් සහභාගි කළ අතර පිට පාරෙන්ද කීපදෙනකු සහභාගි වූ බවට වාර්තා විය. එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අඩක්ද ඉක්මවා නිලධාරීන් ගෝල්ඩ්කෝස්ට් වෙත පැමිණ සිටි බව වාර්තා විය.

ශ්‍රී ලංකාව කළ යුත්තේ මෙවැනි ක‍්‍රීඩා උළෙලක අවම වශයෙන් අවසන් පූර්ව තරගයට හෝ යාමට හැකියාවක් ඇති ක‍්‍රීඩාවලට සහභාගි කරවීමය. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හිතවත් ක‍්‍රීඩා සංගම්වලට අවස්ථාව ලබාදීමට උත්සුක වීමෙන් මෙම වන්දනා චාරිකාව නිර්මාණය විය.   

♦ සටහන: වරකාගොඩ ගමගේ

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00