දකුණු අප‍්‍රිකාව හමුවේ ලැබූ ටෙස්ට් තරග තුනේ මාර පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය මිලියනවලින් වැටුප් ගෙවන විදේශ පුහුණුකරුවන්ගේ සේවය පිළිබඳව මෙම සතියේ මැද වනවිට ප‍්‍රශ්න මතුවෙමින් තිබුණි. නායක ඇන්ජලෝ මැතිව්ස් සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට ද ක‍්‍රිකට් ලෝලීහු ඇඟිල්ල දිගු කළහ. වයස 19 න් පහළ කණ්ඩායමක ජයග‍්‍රහණද මහ ඉහළින් සමරණ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පාලකයන් ද මෙම පරාජයත් සමග කලබල වී ඇති බව පසුගිය සතිය මුලදී පැහැදිලි විය.
මෙම චෝදනා හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය අඟහරුවාදා අපූරු නිවේදනයක් නිකුත්කර තිබුණි. එම නිවේදනයේ සඳහන් කර තිබුණේ ටෙස්ට් තරගාවලිය පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. එම සාකච්ඡාවට නායක ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඩ් සහ උසස් දක්‍ෂතා පිළිබඳව පුහුණුකරු සයිමන් විලීස් යන මහත්වරුන් ද සහභාගි වූ බව සඳහන්ව තිබුණි.
ඉදිරි තරගාවලි ජය ලැබිය හැකි බවට තමන් තුළ විශ්වාසයක් ඇති බව නායක ඇන්ජලෝ මැතිව්ස් එම සාකච්ඡාවේදී පැවසූ බව ක‍්‍රිකට් ආයතනයේ නිවේදනයේ සඳහන්ව තිබුණි. ක‍්‍රිකට් සභාපතිවරයා එහිදී පවසා තිබුණේ ටෙස්ට් තරගාවලිය පරාජය පිළිබඳව කනගාටු වන බවත් අපේ කණ්ඩායම තරග ජය ලබන කණ්ඩායමක් වන බවත්ය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාර පරාජයේ වගකීමෙන් ගැලවීමට හාස්‍ය දනවන සටහනක් ද ඇතුළත් කර තිබුණි.
ආසියාවේ ප‍්‍රධානම කණ්ඩායම් තුන වන ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව 1990 වසරේ සිට ඕස්ට්‍රේලියාව සහ දකුණු අප‍්‍රිකාව යන රටවල්වලදී සහභාගි වූ ටෙස්ට් තරග සංඛ්‍යාව එහිදී ලැබූ ජය, පරාජ සහ සාමාන්‍ය ඇතුළත් වගුවක් ඇතුළත්කර තිබුණි. එම වගුවට අනුව ඉන්දියාව 1990 වසරේ සිට ඕස්ට්‍රේලියාවේදී සහ දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් තරග 41 කට සහභාගි වී තරග 24 ක් පරාජයට පත්ව තරග 4 ක් පමණක් ජය ලබා තිබේ. එහි සාමාන්‍ය 29.42 කි. පාකිස්තානය තරග 28 කට සහභාගි වී 22 ක් පරාජයට පත්ව තරග තුනක් පමණක් ජය ලබා ඇති අතර එහි සාමාන්‍ය 23.76 කි.
ශ්‍රී ලංකා ටෙස්ට් තරග 20 කට සහභාගි වී තරග 17 ක් පරාජයට පත්ව තරගයක් පමණක් ජය ලබා තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් කර තිබේ. ශ්‍රී ලංකා පිලේ ජය ලැබීමේ සාමාන්‍ය 24.65 කි. ජය පරාජය ඕනෑම ක‍්‍රීඩාවක ස්වභාවය බව අමුතුවෙන්ම කිවයුතු නැත. එය එසේ වුවද දකුණු අප‍්‍රිකාවට එරෙහිව එකම තරගයකදීවත් කිසිදු සටනක් දීමට ශ්‍රී ලංකා පිලට නොහැකිවීම මෙහිදී නැගෙන ප‍්‍රධාන චෝදනාව බවට පත්ව තිබේ.
තෙවැනි ටෙස්ට් තරගය තුන්දින තරගයක් බවට පත්ව පරාජය වීමත් සමඟ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබුණේ තමන් නායකයකු හැටියට දැඩි අසීරුම කාලයක් ගෙවන බවයි. ශ්‍රී ලංකා පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඩ් මහතා පවසා තිබුණේ මෙම පරාජය සැබවින්ම බලාපොරොත්තු කඩවීමක් බවයි.
තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන පරිපාලනය පත්වීමෙන් පසුව මිලියන ගණන්වලින් පඩි ලබන විදේශ පුහුණුකරුවන් තිදෙනකුගේ සේවය ලබා ගැනිණි. ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඩ්, උසස් දක්‍ෂතා පිළිබඳව පුහුණුකරු සයිමන් විලීස් සහ පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් මෙම ඩෝලර් මල්ල සොලවන පුහුණුකරුවෝ වෙති. ටෙස්ට් තරගයක් අවම වශයෙන් දින පහ ක‍්‍රීඩා කිරීමට මෙහෙයවීමට මෙම පුහුණුකරුවන්ට හැකියාවක් නොමැති නම් ඔවුන්ගේ වෘත්තිය හැකියාව පිළිබඳව සැකයක් මතුවීම වැළැක්විය නොහැක.
ග‍්‍රැහැම් ෆෝඩ් ඩොලර් 20,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න මාසික වේතනයක් ලබන අතර සයිමන් විලීස් ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 22 කට අධික මාසික වේතනයක් ලබයි. වයස 19 න් පිලේ දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වී සිටින පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් ඩොලර් 8,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 12 කට ආසන්න මාසික වැටුපක් ලබයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කකුගේ සාක්කුවේ සිටින්නේ යැයි කියන හිටපු සුපිරි ක‍්‍රීඩකයකුගේ මිතුරන් වීම නිසා සයිමන් විලීස් සහ නික් පෝතාස් ශ්‍රී ලංකාවේ මෙම තනතුරු දරණ බවට බොහෝ දෙනා පවසති. එහෙත් ඔවුන් හුදෙක්ම ප‍්‍රදර්ශන භාණ්ඩ පමණක් බව තතු දන්නෝ පවසති.
ග‍්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකාවේ දේශීය ක‍්‍රිකට් තරගාවලියේ දුර්වලතා සහ වේගපන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් නොලැබීම පිළිබඳව ද මෙම පරාජයෙන් පසුව පවසා තිබුණි. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවකු පැවසුවේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගවලදී රංගන හේරත් ඉලක්ක කරමින් තණතීරු සකස් කර තරග ජය ලබා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රත්වෙන වතුර හැළියට දැමූ කකුළුවන්ගේ චරිතයට පණ පොවා ඇති බවයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන පරිපාලනය ඡන්දය දුන් ක‍්‍රීඩා සමාජවලට සැළකීම සඳහා දියාරු වී තිබූ පළමු පෙළ තරගාවලිය තව දුරටත් විනාශ කළ බව අමුතුවෙන් කිවයුතු නැත. ක‍්‍රිකට් පාලකයෝ පාසල් තරගාවලිද දියාරු කරමින් සිටිති. තේරීම් කමිටුවේ වැඩකටයුතු නිදහසේ කිරීමට අවස්ථාව නැති බවට එහි සභාපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිළි කළ ද ඉන් පළක් නොවීය. මේට්ලන්ඩ් පෙදෙසෙන් ලැබෙන සංචිතයට අත්සන් තැබීම පමණක් තේරීම් කමිටුවට ඉතිරිව ඇති බව ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ හිටපු නමගිය ක‍්‍රීඩකයකු සිය හිතවතකුට පවසා තිබුණි.
ෂෙහාන් ජයසූරිය වැනි ක‍්‍රීඩකයන්ට තේරීම් තරගකදීවත් අවස්ථාව නොදෙන තේරීම් කමිටුව හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන සංවර්ධන සංචිතයට හෝ ඇතුළත්ව නොසිටි ක‍්‍රීඩකයකු දකුණු අප‍්‍රිකානු විස්සයි20 තරගාවලියට පිටත්කර හැරියේය. මෙම තත්ත්වය හමුවේ ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් රැසක් ඉච්ඡා භංගත්වයට පත්ව සිටිති.
හලාවත මේරියන්ස් ක‍්‍රිකට් සමාජයේ ශ්‍රී ලංකා වර්තමාන ක‍්‍රිකට් පරිපාලනයේ බලසම්පන්න සාමාජිකයන් කීපදෙනකුම කටයුතු කරන බව බොහෝ දෙනකු දන්නා කරුණකි. දකුණු අප‍්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය පසුගිය සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබුණි. එම තරගාවලියේදී හෝ ශ්‍රී ලංකා පිලට හිස එසවීමට අවස්ථාව ලැබේ යැයි බලා සිටිමු. වැඩකටයුතු සිද්ධ වෙන්නේ මේ ආකාරයට නම් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගැන කථා කිරීමට දෙයක් ඉතිරි වේදැයි සැක සහිතය.
♦ සටහන: වරකාගොඩ ගමගේ