ක්රීඩා අමාත්‍යංශය යනු අමුතු තැනකි. පුටුවට එන ක‍්‍රීඩා ඇමතිවරයාගෙන් ඇමතිවරයාට, රජයෙන් රජයට, කාලයෙන් කාලයට ක‍්‍රීඩා අමාත්‍යංශයේ අරක් ගන්නා නිලධාරීන් හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය අමුතුම ලෝකයක් බවට පත්වේ. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යංශය ද අමුතු වී ඇත්තේ වසර කීපයක සිට එහි අරක්ගෙන සිටින දූෂිත ඇතැම් නිලධාරීන් හේතුවෙනි. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යංශ පරිපාලනය ද එවැනි ‘සිංහයන්’ තිදෙනකු හේතුවෙන් ව්‍යාකූල වූ පරිපාලනයක් බවට පත්ව තිබේ.
මෙම ‘සිංහයන්’ තිදෙනා ක‍්‍රීඩා ඇමැතිවරු කීපදෙනකුගේ ආශීර්වාදයෙන් අමාත්‍යංශයේ බින්න බැස්සෝ වෙති. ඔවුහු විවිධ වූ තනතුරු ඔස්සේ පරිපාලනයට පැමිණියෝ වෙති. එම ඇතැම් නිලධාරීහු අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උපදේශක සහ ප‍්‍රධානී යැයි කියන ප‍්‍රබල තනතුරුවලට පත්වෙති. පවතින රජයේ කෙරුම්කරුවන්ගේ හෝ ක‍්‍රීඩා ඇමතිවරයාගේ හිතවත්කමට වඩාත් වැදගත් තනතුරුවට එන එම නිලධාරීන් වැඩි කාලයක් ගතවීමට පෙර සමස්ත අමාත්‍යංශයේම පාලනය නතුකර ගනිති.
මොවුන්ගෙන් වැඩි දෙනකු රජයේ සේවයට පැමිණ සිටින්නේ සැඳෑ සමය ගතකරන අවදියේය. ඔවුන් ඊට පෙර රාජකාරි කළ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල සේවය සම්බන්ධයෙන් හොඳ නමක් නම් නැත. ඒ හේතුවෙන් ඔවුන්ගේ එම අරමුණ අව්ව තියෙන වෙලාවේ රෙදි වේලා ගැනීමයි. එය එසේ වුවද ක‍්‍රීඩා සංගමයක, ක‍්‍රීඩා සංගම් නිලධාරියකුගේ හෝ අමාත්‍යංශ නිලධාරියකුගේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නේ, ක‍්‍රීඩාවේ ඇගයීමක් කරන්නේ නම්, කිසියම් උත්සවයක්, ක‍්‍රීඩා උළෙලක් සංවිධානය කරන්නේ නම් ඉහත කී නිලධාරීහු ප‍්‍රධානත්වයට පත්වෙති. එය ගමේ භාෂාවෙන් කියනවා නම් ‘නරියට කුකුල්ලු බාර දුන්නා’ වැනි තත්ත්වයකි.
ක‍්‍රීඩා අමාත්‍යංශයේ පසුගිය කාලයේ නිලධාරීන්ට එරෙහිව කළ පරීක්‍ෂණවල ප‍්‍රතිඵලවලින් බහුතරයක් කැකිල්ලේ තීන්දු බව කථාබහට ලක්ව තිබේ. ඇගයීම්වලදී ඇතැම් නිලධාරීන්ගේ හිතමිතුරන් ඇගයීම පසුගිය වසර කීපයේදී දැකගත හැකි විය. එම ඇතැම් නිලධාරීන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරමින් ක‍්‍රීඩා අමාත්‍යයේම වෙනත් රාජකාරි ද කරමින් වැටුප් සහ දීමනා ලැබීම වඩාත් විශ්මය දනවන තත්ත්වයකි.
නව ක‍්‍රීඩා අමාත්‍යවරයාට තම අමාත්‍යංශය සාමාන්‍ය ස්ථානයක් බවට පත්කිරීමට නම් ‘සිංහයන්’ තිදෙනා පිළිබඳව තීරණයක් ගත යුතුය. ඔවුන් තවදුරටත් කටයුතු කළහොත් ක‍්‍රීඩා අමාත්‍යංශය ‘අරුම පුදුම’ තැනක් වීම වැළැක්විය නොහැක.
♦ විශේෂ ලියුම්කරුවකු විසිනි