2018 මැයි 19 වන සෙනසුරාදා

පදක්කම් බැරිනම් නිකම් න්‍යාය

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූරියකගේ පුහුණුකාරිනිය සම්බන්ධ ප‍්‍රශ්නයක් පොලිසිය දක්වා යෑම සහ ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් පිහිටුවූ ශ්‍රී ලංකා මීටර 100X4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායමට ආසියානු කනිෂ්ඨ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවීම යන සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩාව පසුගිය සති දෙකේ තරමක් උණුසුම් වී තිබුණි.

පදක්කම් දිනාගත හැකි ඉසව්වලට පමණක් ඉදිරියේදී කණ්ඩායම් හෝ ක‍්‍රීඩකයන් සහභාගි කරවන බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා කළ ප‍්‍රකාශයක් මෙම කපාහැරීමට හේතුව බව මලල ක‍්‍රීඩා බලධාරීන් පවසන බව වාර්තා වේ. “කන්න ඕන වුණාම කබරගොයාත් තලගොයා බවට පත්කරගන්නා” වර්තමාන මලල බලධාරීන්ට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය වාසිදායක වී තිබේ.  පසුගිය වසරේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් කණ්ඩායමේ කාලය නිර්ණායක බවට පත්කර ගැනීම නිසා ශ්‍රී ලංකා කාන්තා පිලට අවස්ථාව අහිමිවී තිබේ. සහාය දිවීම වැනි ඉසව්වකට එවැනි නිර්ණායකයක් ගෙන ඒම එතරම් ප‍්‍රායෝගික නොවන බව මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සහාය දිවීම වැනි ඉසව් ‘යෂ්ටි’ හුවමාරුව මත තීරණය වන බවයි. 
ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන මලල ක‍්‍රීඩා පුහුණුකරුවකු පැවසුවේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘පදක්කම් දිනා ගැනීමට හැකි’ යන න්‍යාය යටතේ කටයුතු කළහොත් තරගයක් පැවැත්වීමට තරම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නොමැති වීමේ අවදානමක් ඇති විය හැකි බවයි. දකුණු අසියානු රන් පදක්කම දිනූ කාන්තා සහාය දිවිමේ කණ්ඩායමට ශර්මිලා ජෑන්, අමාෂා ද සිල්වා, ශලින්දා ජැන්සන් සහ ශෆියා යැමින් ඇතුළත් වූහ. එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එවන්ති ඉමේෂිකා අසනීප තත්ත්වයක් හේතුවෙන් සහභාගි නොවූවාය.

ශර්මිලා ජෑන් සහ එවන්ති ඉමේෂිකා එම තරගාවලියෙන් පසුව පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති ජ්‍යෙෂ්ඨ තේරීම් තරගාවලියේදී වඩාත් කැපී පෙනෙන දස්කම් දැක්වූහ. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා පිටියේ කාන්තා නියෝජනය හීනවෙමින් තිබියදී දස්කම් දක්වන ක‍්‍රීඩිකාවන් ප‍්‍රධාන තරගාවලිවලට සහභාගි නොකිරීම මෙහිදී වඩාත් කැපී පෙනේ.  ආසියානු ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තේරීම් තරගාවලියේ ඇතැම් ඉසව්වලට එකම ක‍්‍රීඩිකාවක් හෝ ඉදිරිපත් නොවූබව වාර්තා වේ. ජපානයේදී ලබන ජූනි මස මුල පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට සහාය දිවීමේ කණ්ඩායම සහභාගි නොකිරීමේ තීරණය යට සැළවුණු කථාවක් ඇති බව වාර්තා වේ. 
එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට කිසිදු වියදමකින් තොරව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනකු පමණක් සහභාගි කරවීමට පමණක් අවස්ථාව ඇති බව වාර්තා වේ. ඒ සඳහා මේ වනවිටත් දොළොස්දෙනකු පමණ තෝරාගෙන තිබේ.  සහාය දිවීමේ කණ්ඩායම තරගාවලියට සහභාගි කරවන්නේ නම් එක ක‍්‍රීඩිකාවක් වෙනුවෙන් දිනකට ඩොලර් 200 ක පමණ මුදලක් ගෙවිය යුතුය. මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු වියදම් ක‍්‍රීඩා අමාත්‍යංශය දරන්නේ නම් සහාය දිවීමේ කණ්ඩායම සහභාගි කරවීමේ ගැටලුවක් මතු නොවන බව මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.

එම සිද්ධිය අතරතුර පසුගිය සතියේ කෙටි දුර ධාවන ශූරියකගේ පුහුණුකරු ධූරය ලබාගැනීමට කළ උත්සාහයකදී නමගිය පුහුණුකරු යුවළකට පොලීසියට යෑමට සිදුවූ බව වාර්තා වේ. කෑගල්ල ප‍්‍රදේශයෙන් බිහිවූ කෙටිදුර ධාවන ශූරියක් බෙදාගැනීමේ සටනක් පසුගිය සතියේ කටුනායක ගුවන් තොටුපළ පොලීසිය දක්වා ගොස් තිබුණි. ඇයගේ නිත්‍ය පුහුණුකාරිනියගෙන් ඉවත්කර ශ්‍රී ලංකාවේ නම ගිය පුහුණුකරු යුගළක් ඇයව ලබා ගැනීමට උත්සාහ කර තිබේ. මැලේසියාවේ තරගාවලියකට සහභාගි වී කටුනායක ගුවන්තොටුපළට නැවත පැමිණි පසු ඇයව වාහනයට නංවාගත්තේ යැයි කියන නමගිය පුහුණුකරු යුගළ පිළිබඳව පොලිසියට පැමිණිළි කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණතම පුහුණුකරුවන් වෙනත් පුහුණුකරුවන් නිර්මාණය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තමන්ගේ කර ගැනීමට උත්සාහ දැරීම ලැජ්ජා සහගතය. ඔවුන් කළ යුත්තේ කඩා වැටී ඇති මලල ක‍්‍රීඩාවට තවත් වසර 10 කින් හෝ පණදීමට හැකි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකිරීමය.

♦ යොහාන් භාසුර