2018 ජුනි 30 වන සෙනසුරාදා

කලම්බු සුපර් ක්‍රොස් 2018: නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

කලම්බු සුපර් ක්‍රොස් - 2018 තරගාවලිය පසුගියදා වැලිසර නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය. දෙවැනි වතාවටත් පැවැත්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබීය.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන හා මෙරට ප්‍රමුඛ පෙළේ යතුරුපැදි හා මෝටර් රථ ධාවකයන් රැසක් තරග වැදුණු තරගාවලියට යතුරුපැදිකරුවෝ 120ක් සහ මෝටර් රථ ධාවකයන් 110 දෙනෙක් සහභාගී වූහ. එහිදී යතුරුපැදි අංශයේ තරග 12ක් සහ මෝටර් රථ අංශයේ තරග 14ක් සමඟ සමස්ත තරග ඉසව් 26ක් පවත්වනු ලැබීය.

තරග ඉසව් කිහිපයක ජයග්‍රහණ නාවික හමුදාව සතුකර ගැනීමට සමත් වූ අතර සාමාන්‍ය නැවි ශානුක සඳරුවන් තරග කාණ්ඩ තුනක් යටතේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන තුනක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම සාමාන්‍ය නැවි ගයාන් සඳරුවන් නායක නැවි එම්. එන්. පෙරේරා සහ නායක නැවි කසුන් විජේසේකර යන අය ජයග්‍රහණ හිමිකර ගත්හ. කලම්බු සුපර් ක්‍රොස් තරගාවලිය ලබන ආදායම යුද්ධයේදී මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූ නාවික රණවිරුවන්ගේ සහ පවුල්වල සුබසාධනය සඳහා වෙන් කිරීමට නියමිතය.

♦ විල්තෙර