2017 ජනවාරි 28 වන සෙනසුරාදා

පරදින්න ක්‍රීඩා නොකරන බව ප්‍රේක්ෂකයන් තේරුම් ගන්න ඕනෑ - ඇන්ජලෝ මැතිව්ස්

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

මීට වසර දෙකකට පෙර එනම් 2014 වසරේදී එංගලන්තයේදී තම පළමු ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් මාස කිහිපයකට පසු ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකය ලෙස නම් කරනු ලැබීය. ඔහු ක්‍රීඩාවේ හිණිපෙත්තට ගමන් කරන බව පෙනෙන්ට තිබිණි. 

ඔහුට පෙර කණ්ඩායමේ නායකත්වය දැරූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙන් ඔහු ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිඩකයකු වන ලක්ෂණ පෙන්නුම් කළේය.  ඕස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයකට නායක්තවය දෙමින් ඔහු විශිෂ්ට අනාගතයක සංඥා එළි දක්වන්නට විය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේදී තරග 0x3ක පරාජයක් ලැබීමත් සමඟ ඇන්ජලෝ මැතිව්ස්ට නොයෙක් චෝදනා විවේචන එල්ල වන්නට විය. 

යෝජනා කරන  ඕනෑම අවස්ථාවකදී කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තමා සූදානම් බව දකුණු අප්‍රිකා සංචාරයට එක්වී සිටින ඩේලිමිරර් පුවත්පතේ මාධ්‍යවේදී චම්පික ප‍්‍රනාන්දු හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මැතිව්ස් පැවැසීය. ඔහු කණ්ඩායමේ නායකත්වය බාරගන්නා විට වයස අවුරුදු 25ක් විය. මේ එම සම්මුඛ සාකච්ඡාවෙන් තෝරාගත් ප‍්‍රශ්න කිහිපයක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට දුන් පිළිතුරු කිහිපයකි. 

දකුණු අප්‍රිකාවේදී ලද පරාජය සම්බන්ධයෙන් ඔබටත් කණ්ඩායමටත් නොයෙක් චෝදනා හා විවේචන එල්ල වෙනවා. ඔබ කොහොමද පෞද්ගලිකව ඒවා සමඟ ගනුදෙනු කරන්නේ?

මේ මා නායකත්වය දරන පස්වැනි අවුරුද්ද. හොඳින් ක්‍රීඩා කරන විට ඇගැයුම් ලැබෙන බවත් පරදින විට විවේචන එල්ල වන බවත් මම හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. එය ක්‍රීඩාවේ කොටසක් බවට පත්වෙලා. තරගාවලියේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් කනගාටුවෙන් සිටින බව මට තේරෙනවා. ඔවුන් ක්‍රීඩාවට ආදරෙයි. ඔවුන් අපි යන යන තැනට අපිත් එක්ක එනවා. ඔවුන්ගේ කේන්තිය තේරුම් ගන්න පුළුවන්. එහෙත් අපි පරදින්න ආවේ නැහැ කියන දේ ඔවුන් තේරුම් ගත යුතුයි. මම කියන්න කැමැතියි, අපි අපේ පුළුවන් උපරිමයෙන් කළා. පරාජය කොහොම වුණත් පරාජයක්. අපි හොඳට ක්‍රීඩා කළත් එය තරගයක් ජයගන්න තරම් ප‍්‍රමාණවත් වුණේ නැහැ. 

තරග පරාජවලට නායකත්වය ප‍්‍රධාන හේතුවක් බවට බොහෝ දෙනා චෝදනා කර තිබුණා. නායකත්වයට ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් තියෙනවද?

මම හරියටම කියන්න දන්නේ නැහැ. තරගයක් ජයග‍්‍රහණය කළාම එහි කීර්තිය ගන්න ගොඩක් ඉන්නවා. තරගයක් පරාජය වුණාම එහි වගකීම එන්නේ නායකයාට සහ තේරීම් කමිටුවට. බැණුම් අහන්න වෙන්නේ අපට. දකුණු අප්‍රිකාවේ පරාජයේ වගකීම මම බාරගන්නවා. මම දන්නවා මම පිළිතුරු දිය යුතුයි. එහෙත් නායකයකු ලෙස මම මට හැකි උපරිමයෙන් කළා. මම පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඩ් සමඟ සමීපව කටයුතු කළා. මම හැම අවස්ථාවේම තේරීම් කමිටුවේ සාමාජිකයන් සමඟ හැමතිස්සෙම සාකච්ඡා කළා. එය සාමූහික ක්‍රියාවලියක්. එහෙත් කවුරුන් හෝ මට බණිනවා නම්, එය වෙච්චදෙන්. 

ඕස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණ දෙකක් ලැබ, හොඳ මානසිකට මට්ටමකින් තමයි කණ්ඩායම මෙම තරගාවලියට පිවිසුණේ? කොතැනද වැරැදුණේ?

අපි ක්‍රීඩා කළ තත්ත්ව තේරුම් ගත යුතුයි. ඔව්, අපි හොඳින් සෙල්ලම් කළා. අපි  ඕස්ට්‍රේලියාව අපේ රටේදීත්, සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ රටේදීත් පරාජයට පත් කළා. මම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් තව මුකුත් අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. අපි ක්‍රීඩා කරපු තත්ත්වත් අපේ ප‍්‍රතිවාදීන් කවුදැයි බැලිය යුතුයි. දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ රටේදී ක්‍රීඩා කරනවා කියන්නේ ඉතා දුෂ්කර කාර්යයක්. එහෙම වුණත් අපි යන්නේ ජයග‍්‍රහණ බලාපොරොත්තුවෙන්. එය සියලු දෙනාම තේරම් ගත යුතුයි කියලා මම හිතනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අපට හැකි සෑම දෙයක්ම කළා. ටෙස්ට් තරගවලදී තණතීරුවේ නිසි ආකාරයෙන් හැඩ ගැසෙන්න අමාරු අවස්ථා එනවා. එම තණතීරු කොළ පාටයි. නිදහසට කරුණු කියන්න මට ඕනේ නැහැ. හැබැයි ඒක තමයි ඇත්ත. අපේ දුර්වලතා තරගාවලි පරාජයට හේතු වුණා. 

අතීතයේදී මෙන් කණ්ඩායමේ තරු ක්‍රීඩකයන් නැහැ. කණ්ඩායමේ මෑතකාලීන දක්ෂතාවලට එය කොහොම බලපෑවා කියලා ඔබ හිතනවද?

ඔව්. තරමක් දුරට එය බලපානවා. මම පටන් ගත්තු කාලේ. විශේෂයෙන්ම අපි එංගලන්තයේදී ඓතිහාසික ජයග‍්‍රහණය ලබපු වෙලාවෙ මහේලයි කුමයි කණ්ඩායමේ හිටියා. ඒ වගේම  ඕස්ට්‍රේලියානු සංචාරයේදී රංගන හේරත් හිටියා. ඒත් අද මට ඉන්නේ තරුණ කණ්ඩායමක්. කුසල් මෙන්ඩිස් සහ ධනංජයද සිල්වා වගේ ක්‍රීඩකයෝ. ඔවුන් ටෙස්ට් තරගවල ක්‍රීඩා කරලා නැහැ. ලංකාවෙන් පිට ක්‍රීඩා කිරීම අමතක කරන්න. ඒ නිසා අපි ඔවුන්ට අවස්ථාවක් දිය යුතුයි. හැමෝටම මට බණින්න අවස්ථාවක් දෙන්න. එහෙත් අනෙක් ක්‍රීඩකයන්ට බණින්න එපා. ඔවුන්ට සහයෝගය හා දිරිමත් කිරීම අවශ්‍යයි. ඔවුන් පහතට දමන්න එපා. 

ඔබ ලංකාවේ ළාබලතම නායකයා. ඔබ අවුරුදු 25 දී කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණා. ඔබ නායකත්වය පත්වුණේ 2013 වසරේදී. එය කල් වැඩියි කියා ඔබට හිතෙන්නේ නැද්ද?

කණ්ඩායමේ මහේල, කුමාර් සංගක්කාර, ටී.එම්. ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර සිටියා. එය ලොකු සහයෝගයක් වගේම මම ලබපු වාසනාවක්. ඔවුන් මට උදව් කළා. අද මට හේරත් සහ දිනේෂ් චන්දිමාල් ඉන්නවා. චන්දිමාල් කණ්ඩායමේ උපනායකයා. එය කලින් කියලා මම කියන්නේ නැහැ. ග‍්‍රැහැම් ස්මිත් දෙස බලන්න. ඔහු කණ්ඩායමේ නායකයා වුණේ අවුරුදු 22 දී. එය ඔබට පුළුවන්ද නැද්ද කියන එකේ ප‍්‍රශ්නයක්. ඔව්, එය පහසු කාර්යයක් නෙමෙයි. ඔබ වගකීම් දැරිය යුතුයි. පීඩන හා බැණුම් හා විවේචනවලට මුහුණ දෙන්න ඔබ ශක්තිමත් විය යුතුයි. 

♦ සිංහල පරිවර්තනය 
හර්ෂණ තුෂාර සිල්වා