2018 ජුලි 14 වන සෙනසුරාදා

පාපන්දු ලෝකයේ නොනිදන රාත්‍රිය

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 154

මසකට ආසන්න කාලයක් රුසියාවේ ක්‍රීඩාංගණ 12 ක පැවැති 21 වැනි පාපන්දු ලෝක කුසලානයේ ජයග‍්‍රාහකයා කවුදැයි අද (15) රාත්‍රියේදී තීරණය වනු ඇත.  පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහ තරගය අද ප‍්‍රංශ කණ්ඩායත් අතර ක්‍රොඒෂියා කණ්ඩායමත් අතර පැවැත්වීමට නියමිතය. 

තියුණු තරග 8කින් පසු 16 දෙනාගේ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 අතරේ අර්ධ අවසන් පූර්ව වටය පැවැත්විණි. අවසන් දහසය දෙනාගේ වටයේ සෑම තරගයක්ම උණුසුම් වූවත් අර්ධ අවසන් පූර්ව වටයේදී බලාපොරොත්තු වූ තරමේ තරගකාරීත්වයක් දක්නට නොලැබිණි. 

දහසය දෙනාගේ වටයේ පළමු තරගය ප‍්‍රබල කණ්ඩායම් දෙකක් වන උරුගුවේ කණ්ඩායම සහ ප‍්‍රංශ කණ්ඩායම අතර පැවැත්වුණු අතර එම තරගයේදී 2ට 0ක ජයක් ලැබීමට ප‍්‍රංශ කණ්ඩායම සමත්විය. එම තරගයේදී ප‍්‍රබල උරුගුවේ කණ්ඩායමෙන් දක්නට ලැබුණේ ප‍්‍රබල කණ්ඩායමකින් දක්නට ලැබෙන ක්‍රීඩා විලාශයක් නොවේ.

ඉන් අනතුරුව පැවැති තරගයේදී උණුසුම් තරගයක් දක්නට ලැබුණු අතර වාසනාව මෙන්ම දක්ෂතාවත් කණ්ඩායම් ක්‍රීඩාවත් බෙල්ජියමට ජය ගෙන ආවේය. මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි පැවැසුණු කණ්ඩායම් දෙකක් වූ බ‍්‍රසීලය සහ බෙල්ජියම යන කණ්ඩායම් දෙකෙන් ඉදිරියට යෑමේ අවස්ථාව තිබුණේ එක් කණ්ඩායමකට පමණි. ඔවුන්ගේ ගෝල රකින්නාගේ අති විශිෂ්ට පන්දු රැකීම නිසා එම අවස්ථාව බ‍්‍රසීලයෙන් උදුරා ගැනීමට බෙල්ජියම සමත්විය. තරගය අවසන් වූයේ බෙල්ජියමට 2ට 1ක ජයක් ගෙන දෙමිනි.

මෙවර තරගාවලියේ වැඩි අවධානයක් නොලැබුණත් සෑම තරගයකදීම විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරත වූ එංගලන්ත කණ්ඩායම ස්වීඩනය අතර පැවැති තරගයේදී 2ට 0ක පහසු ජයක් ලැබීය.

දහසය දෙනාගේ වටයේ උණුසුම් සහ වඩාත් තීව‍්‍ර තරගය සත්කාරක රුසියානු කණ්ඩායම සහ ප‍්‍රබල ක්‍රොඒෂියානු කණ්ඩායම අතර පැවැත්විණි. තරගයේ 31 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සත්කාරක රුසියානු කණ්ඩායමේ ඩෙනිස් චෙරිෂෙව් සමත්විය. එහෙත් එම වාසිය පැවැතියේ මිනිත්තු 8ක් පමණි. තරගයේ 39 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් 1x1ක් ලෙස සම කිරීමට ආන්ද්‍රේ ක‍්‍රැරමරිච් සමත්විය. තරගයේ පළමු අර්ධය අවසන් 1x1ක් ලෙස අවසන් වූයේ එලෙසිනි. තරගයේ නියමිත මිනිත්තු 90 එසේ අවසන් වූ අතර ලබාදුන් අතිරේක මිනිත්තු කිහිපයේදීත් ගෝලයක් වාර්තා නොවූ නිසා අතිරේක කාලයට යෑමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව තරගයේ අතිරේක කාලයේදී තරගය ආරම්භ වූ අතර තරගයේ 110 විනාඩියේ දී ගෝලයක් වාර්තා කිරීමට ඩොමාගෝ විදා සමත්වූයේ ක්‍රොඒෂියාවේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. එහෙත් 115 වැනි මිනිත්තුවේදී හිසින් පන්දුව දැල තුළට යවමින් රුසියානු කණ්ඩායමේ මාරියෝ ෆර්නැන්ඩස් ක්‍රොඒෂියාවේ බලාපොරොත්තු සුණු විසුණු කළේය.

පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පහළම සිටින කණ්ඩායමක් ලෙසින් මෙම තරගාවලියට එක්වූ සත්කාරක රුසියානු කණ්ඩායම තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වූයේ දශක ගණනකට පසු පාපන්දු ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි පළමු රුසියානු කණ්ඩායම බවට පත්වෙමිනි. පාපන්දු ලෝක කුසලානයක රුසියානු කණ්ඩායමක් මෙතරම් දුරක් පැමිණියේ සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයෙන් පසුවය. අනතුරුව එළැඹියේ තරගයේ දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාවය. 

මෙවර තරගාවලියේ දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාවලදී පළමු අවස්ථාව ගත් කණ්ඩායම පරාජයට පත්වූ අතර රුසියාවට එම ඉරණම අත්විය. රුසියානු කණ්ඩායමේ පළමු අවස්ථාව ව්‍යර්ථ කිරීමට ක්‍රොඒෂියා දැල් රකින්නා සමත්විය. ක්‍රොඒෂියානු දැල් රකින්නා තරගයේ අවසන් භාගයේදී ආබාධයකින් පෙළෙමින් දැඩි සටන්කාමීත්වයක් පෙන්නුම් කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවීම මෙම තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය. අවසානයේදී දඬුවම් පහර අවස්ථාව 4-x3ක් ලෙස ජයග‍්‍රහණය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්විය. සත්කාරක රටක් දඬුවම් පහර අවස්ථාවේදී පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව ද මෙය විය. වසර 1990 වසරේදී ඉතාලිය ආර්ජන්ටිනාව හමුවේ දඬුවම් පහර අවස්ථාවකදී පරාජයට පත්විය. 

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප‍්‍රංශය, බෙල්ජියම, ක්‍රොඒෂියාව සහ එංගලන්තය සමත්වූයේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යුරෝපීයන් අතර සටනක් බවට පත් කරමිනි. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී බ‍්‍රසීලය, ජර්මනිය සහ ආර්ජන්ටිනාව නොමැතිව පැවැත්වෙන අවසන් පූර්ව වටයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය විය. 

ප‍්‍රංශය සහ බෙල්ජියම අතර තරගය දැඩි තරගකාරීත්වයකින් යුතු අතර බොහෝ දෙනා මෙම තරගය අවසන් මහා තරගය ලෙසින් ද හැඳින්වූහ. ආරම්භයේ සිටම කණ්ඩායම් දැඩි ආක‍්‍රමණශීලීත්වයක් මෙන්ම ආරක්ෂාකාරී පිළිවෙතක් ද අනුගමනය කළහ. එහෙත් ලද දුලභ අවස්ථාවකින් පල නෙළාගත් ප‍්‍රංශ කණ්ඩායමේ සැමුවෙල් උම්ටිටි තරගයේ 51 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේය. එය තරගයේ වාර්තා වූ එකම ගෝලය විය. බෙල්ජියම මෙම තරගය පරාජයට පත්වූයේ තරග 24ක අපරාජිත වාර්තාවකට පසුවය.

ප‍්‍රංශ කණ්ඩායම අවසාන මහ තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 12කට පසුවය. ඔවුන් 2006 වසරේදී සහ 1998 දී අවසාන මහ තරග සුදුසුකම් ලැබූ අතර 1998 වසරේදී ප‍්‍රබල බ‍්‍රසීල කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක කුසලාන දිනාගත්ත ද 2006 ලෝක කුසලානයේදී ප‍්‍රංශ කණ්ඩායමට අනුශූරතාව සමඟ ඉතිරි වූයේ අමිහිරි අත්දැකීමකි. එසේ වුවත් පසුගිය වසර 20ක් තුළ ප‍්‍රංශය අවස්ථා තුනකදී අවසාන මහ තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර කිසිදු කණ්ඩායමක් මෙතෙක් එවැනි දක්ෂතාවක් දක්වා නොමැත.

අවස්ථා තුනකදී හෝ ඊට වැඩි අවස්ථා ගණනකදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ හයවැනි කණ්ඩායම බවට පත්වීමට ද ප‍්‍රංශ කණ්ඩායම සමත් විය. ජර්මනිය අවස්ථා 8දීත්, බ‍්‍රසීලය අවස්ථා 6 දීත්, ඉතාලිය 6 දීත්, ආර්ජන්ටිනාව අවස්ථා පහකදීත් සහ නෙදර්ලන්තය අවස්ථා 3 දීත් ලෝක කුසලාන අවසාන මහ තරගය සඳහා සුදුසුකම් ලබා තිබේ.

එමෙන්ම වත්මන් ප‍්‍රංශ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු දිදියර් දේෂොම්ප් 1998 වසරේදී ශූරතාව දිනූ ප‍්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩකයකු වීම ද විශේෂත්වයකි. එමෙන්ම එම ජයග‍්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ තියරි ඔන්රේ බෙල්ජියානු කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු වීමද විශේෂත්වයක් විය.

වසර 28කට පසු අවසන් පූර්ව තරගයකට පිවිසුණු එංගලන්ත කණ්ඩායම තරගයේ දෙවැනි අර්ධයේදී තරගය අත්හැර දැමූ බව විචාරකයෝ පෙන්වා දුන්හ. ක්‍රොඒෂියාව අතර පැවැති මෙම තරගය අතිරේක කාලය දක්වා ඇදී ගිය අතර එංගලන්තය පළමු ගෝලය වාර්තා කළ අවස්ථාවේ සිටම තරගයේ 120 වැනි මිනිත්තුව දක්වා තරගය තම ග‍්‍රහණයේ තබා ගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් විය. අවසානයේදී එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩකයන් දස දෙනකු සමගින් ක්‍රීඩා කරන්නට විය. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තරගයේ එකම ගෝලය වාර්තා කළ කිරන් ටි‍්‍රපියර් ආබාධයකට ලක්වීමත් සමඟ ඔවුන්ගේ ලෝක කුසලානය තවදුරටත් සිහිනයක්ම විය.

ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් දක්නට තිබූ මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ටි‍්‍රපියර් සමත්වූයේ තරගයේ 5 වැනි මිනිත්තුවේදීය. එසේ වුවත් ඉන් අනතුරුව ආක‍්‍රමණශීලි වනවා වෙනුවට එංගලන්ත කණ්ඩායම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නට යෑමෙන් තරගය ඔවුන්ගෙන් ගිලිහී ගිය බව විචාරකයෝ පෙන්වා දුන්හ. තරගයේ පාලනය තමන් නතු කරගත් ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් ඉවාන් පෙරිසික් 68 වැනි විනාඩියේදීත් මරියෝ මන්සුකිච් තරගයේ 109 මිනිත්තුවේදී එනම් අතිරේක කාලයේදී ගෝලයක් වාර්තා කරමින් ක්‍රොඒෂියා කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යාමට සමත් වූහ.

මේ අනුව ක්‍රොඒෂියා පළමු වරට පාපන්දු ලෝක කුසලානයක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. ක්‍රොඒෂියා කණ්ඩායම මීට පෙර 1998 වසරේදී අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබා තිබූ අතර ඔවුන් අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබූ එකම අවස්ථාව එය විය.  එම තරගයේදි ක්‍රොඑ්ෂියාව ප්‍රංශය හමුවේ පරාජයට පත්වීමත් මෙවර අවසන් මහ තරගයේදි ප්‍රංශය ඔවුන්ගේ ප්‍රතිවාදියා වීමත් දෛවෝපගත සිදුවීමකි.  තම දෙවැනි අවස්ථාවේදී මෙවර එංගලන්තය 2ට 1ක් ලෙස පරාජය කරමින් ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තරගාවලියේ උද්වේගකර කණ්ඩායම් දෙකක් වූ ක්‍රොඒෂියාව සහ එංගලන්තය ඔවුන් සහභාගී වූ තරගවලදී අතිරේක කාලය දක්වා ගමන් කළ අවස්ථා ගණන පහකි. ක්‍රොඒෂියාව තමන් මුහුණ දුන් තරග තුනකදීත් එංගලන්තය අවස්ථා දෙකකදීත් අතිරේක කාලයේදීත් තරග වැද තිබිණි. ක්‍රොඒෂියාව එහිදි රුසියාව සහ ඩෙන්මාර්කය සමඟ දඬුවම් පහර අවස්ථාවලට ද මුහුණ දුන්නේය. කොලොම්බියාව සමඟ තරගයේදී එංගලන්තය දඬුවම් පහර අවස්ථාවකට මුහුණ දී තිබිණි.
 

►හර්ෂණ තුෂාර සිල්වා
     සේයරූ -  ඒ.එෆ්.පී/ රොයිටර්/ ෆිෆා