2017 ජනවාරි 28 වන සෙනසුරාදා

අපට 3-0 කින් දිනන්න තිබුණා - නිරෝෂන් දික්වැල්ල

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

දකුණු අප්‍රිකාව තුළදී ප්‍රථම වරට ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමේ ආස්වාදය විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ ධෛර්යය සහ ආත්ම විශ්වාසය ඉහළටම ඔසොවනු ලැබ තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පෝට් එළිසබෙත්හිදී ඊයේ (28) ඇරුඹුණු තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට ඔවුන් මුහුණ දෙන්නේ එම අභිමානයද විශ්වාසයද සමඟිනි.

විස්සයි20 ලෝක ශූරතාවද වරක් දිනූ ශ්‍රී ලංකාවට ද.අප්‍රිකාව සමඟ පැවති තරග තුනකින් සමන්විත වූ තරගාවලිය 2-1ක් වශයෙන් නොව 3-0ක් වශයෙන් ජය ගැනීමට අවස්ථාව තිබූ බවත් පළමු තරගය වර්ෂාව විසින් කෙටිකරනු ලැබීම හේතුවෙන් එම අවස්ථාව තමන් වෙතින් ගිලිහී ගිය බවත් අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා වූ නිරෝෂන් දික්වැල්ල විදෙස් වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කළේය. “අපට මේ තරගාවලිය 3-0 කින් ජයගන්න තිබුණා. පළමු තරගයේ ජය අපේ අතේ තිබුණේ. නමුත් අවාසනාවකට අපි ඒ තරගය පරාජය වුණා” ඔහු කියා තිබිණි. “අනෙක් තරග දෙකේදී අපි සන්සුන්ව ඉවසිලිවන්තව ක්‍රීඩා කළා. කලබල නොවී හොඳින් තරග කළා. ඒ තරග දෙක දිනන්න ලොකුම හේතුව වුණේ ඒකයි. වැස්ස නිසා පළමු තරගය සීමා වුණේ ඕවර් 10කට. නමුත් මම හිතන්නේ අපට තරගාවලිය 3-0 හැටියට ජයගැනීමේ අවස්ථාව තිබුණා.” 

පසුගිය සිකුරාදා (20) වොණ්ඩරස්හිදී පැවැති ඕවර 10ට කෙටි කළ පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් පරාජයට පත්විය. නමුත් ඊළඟ තරග දෙකට ආක්‍රමණශීලී ලෙස කඩාවැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජොහැනස්බර්ග් හි පැවැති තරගය කඩුලු 3කින්ද කේප්ටවුන් හි පැවැති තරගය කඩුලු 5කින්ද ජයගැනීමට සමත්වූහ. ලකුණු හඹාගොස් තරග ජය ගැනීමට සමත්කම් දක්වන කණ්ඩායමක් වශයෙන් නම් දරා සිටින ශ්‍රී ලංකා පිලේ එම කීර්තිනාමය තවදුරටත් රැක ගැනීමට මේ ජයග්‍රහණ හේතු විය.

වොණ්ඩරස් තරගයේද අන්තිම ඕවරය දක්වා සටන් වැදුණු ශ්‍රී ලංකා පිල කේප්ටවුන් හි පැවැති 3 වැනි තරගයේදී ඔවුන් විස්සයි 20 තරගයකදී හඹාගිය දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව පන්දු තුනක් ඉතිරිව තිබියදී ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගවලදී ද.අප්‍රිකාවේදී ලද සාර්ථකත්වයට පිතිකරුවන් පෙළගැස්වීමේදී පෙන්වූ නිපුණත්වය ප්‍රබල හේතුවක් වී තිබිණි. නුහුරු, ප්‍රවේගකාරී තණතිලිවලදී පන්දුවට පහරදෙන ආකාරයේ වෙනස්කම් පිළිබඳව අවබෝධයෙන් එම පෙළගැස්වීම් සිදුකෙරුණු බව විදේශ මාධ්‍ය සඳහන් කර තිබිණි. ඒ හේතුවෙන් සීමිත පන්දුවාර තරග සඳහා ඔවුන්ගේ සූදානම උපරිම මට්ටමට පැමිණි බව ඔවුන්ගේ අදහසය.

“මේ තණතිලි ඉතා හොඳයි. ටෙස්ට් තරගවලදී තණතිලි සකස්කර තිබුණේ තරමක් තණකොළ සහිත කොළපැහැ ආකාරයකින්. පන්දුව අධිකව දෝලනය වුණා. නමුත් විස්සයි20 තරගවලදී පිතිකරුවන්ට වාසිවන හොඳ තණතිලි සකස් කර තිබුණා. හොඳින් පන්දුවට පහර දුන් කණ්ඩායම් තරග ජයග්‍රහණය කළා” යැයි කියා තිබූ දික්වැල්ල “මේ තරගාවලියේ සකස් කර තිබූ තණතිලි තුනම පිතිකරුවන්ට වාසිදායක වීම තමන්ට පහසුවක් වූ බවද සඳහන් කළේය.
පන්දුව හොඳින් දෝලනය වන ඉපිලෙන ප්‍රවේගකාරී තණතිලිවල ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතා මඟ හරවා ගැනීම අවශ්‍යය. එය වෙනම සලකා බැලිය යුතු කාරණාවකි. දැනට ඔවුන් බලාපොරොත්තු වන්නේ එක්දින සීමිත ඕවර තරගාවලියේදීද පිතිකරුවන්ට මිතුරුකම් දක්වන තණතිලිවල ක්‍රීඩා කිරීම බවට සැකයක් නැත. ඔවුන් මේ තරගාවලියට ඉදිරිපත් වනු ඇත්තේ හොඳ ආත්ම විශ්වාසයකිනි. “එම දිනුම් ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට අපට විශිෂ්ට උත්තේජනයක් ලබාදුන්නා. ද.අප්‍රිකාව වැනි දැවැන්ත කණ්ඩායමකට එරෙහිව ලබන ජයග්‍රහණත් දැවැන්තයි. මුළු කණ්ඩායමම අපේ ශක්තිය ගැන වැටහීමකින් ඉන්නේ. අපි එක්දින තරගමාලාවට හොඳින් මුහුණදීමට බලාපොරොත්තු වෙනවා” යැයිද දික්වැල්ල කියා තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගවලදී මුහුණදීමට සිදුවන ලොකු ගැටලුවක් වනු ඇත්තේ ඕවර 50 තුළ තිබිය යුතු ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම අහිමි වී තිබීමය. කලවයේ වේදනාකාරී මස්පිඬු ඉරීයාම හේතුවෙන් කණ්ඩායමේ නිත්‍ය නායක මැතිව්ස්ට එක්දින තරග 5ම අහිමි වීමට ඉඩ තිබේ. මැතිව්ස්ගේ නායකත්වයේ කිරුළ දැනට දරා සිටින උපුල් තරංග තම නායකත්වය යටතේ කණ්ඩායම හොඳින් තරගවලට මුහුණදෙනු ඇතැයි විශ්වාසය පළකරයි.
“අපේ නායකයා නොමැතිව ක්‍රීඩා කරන්නට සිදුවීම මහත් පාඩුවක්. මේ වනතුරු ඔහු නොමැතිව අපි හොඳින් ක්‍රීඩා කළා. අපි සාකච්ඡා කරනවා ඕවර 50 අතරමැද කාලයේ පන්දු යැවීම සහ පන්දුවට පහරදීම සිදුකළ යුතු ආකාරය ගැන. විස්සයි20 තරගවලදී මෙන් අත්හදා බැලීම්වලට නොගොස් වඩාත් හොඳින් එක්දින තරගවලට මුහුණදීමයි අපේ අරමුණ” දික්වැල්ල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය නිම කිරීමෙන් පසුව ද.අප්‍රිකාවේ සිදුකළ දීර්ඝ සංචාරය අවසන් කරයි. ඉන්පසුව ඕස්ට්‍රේලියාවේ කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වනු ඇත.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00