“පදක්කම් දිනන්න පුළුවන් ක‍්‍රීඩාවලින් පමණයි ඉදිරියේදී ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවන්නේ. ඒක මම ප‍්‍රතිපත්තියක් හැටියට ක‍්‍රියාත්මක කරනවා” මෙය ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍ය ධූරයට පත්වූ අලුත කළ ප‍්‍රකාශයකි. මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඕනෑම ක‍්‍රීඩා තරගාවලියකට සහභාගි කරන ක්‍රීඩකයන් එම ක‍්‍රීඩා තරගාවලිය අනුව පළමු තුන්දෙනා අතර සිටිය යුතු බවයි.
ඇමැතිවරයාගේ එම තීරණයද එතරම් සාධාරණ නොවන බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. කෙසේ වෙතත් එවැනි නිර්ණායකයක් තිබියදී ඇතැම් ක‍්‍රීඩාවල ආසියාවේ දහසටවත් ඇතුළත් නොවූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප‍්‍රධාන තරගාවලිවලට සහභාගි කරවීම අපරාධයකි. ක‍්‍රීඩා ඇමැතිවරයාගේ මෙම ප‍්‍රකාශය පුස්සක් බවට පත්කරමින් ඉන්දුනීසියාවේදී ලබන අගෝස්තු මස පැවැත්වෙන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 300 කට ආසන්න දැවැන්ත කණ්ඩායමක් සහභාගි කරවීමට සූදානම් වන බව වාර්තා වේ.
මෙම දැවැන්ත කණ්ඩායමත් සමඟ පැහැදිලි වන කරුණ බවට පත්ව ඇත්තේ ක‍්‍රීඩා අමාත්‍යවරයාට වඩා ජාතික ඔලිම්පික් කමිටුව බලවත් බවයි. ජාතික ඔලිම්පික් කමිටුවේ වියදමින් ඇතැම් කණ්ඩායම් සහභාගි කරවීමට ද සූදානම් බව වාර්තා වේ. සිව් වසරකට වරක් පැවැත්වෙන ආසියාවේ දැවැන්තම ක‍්‍රීඩා උළෙල වන මෙවර ‘ඉන්දුනීසියා 2018’ ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව ක‍්‍රීඩා 28 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 185 ක් සහ නිලධාරීන් 60 කින් සමන්විත දැවැන්ත වන්දනා නඩයක් සහභාගි කරවීමට සියලු කටයුතු සූදානම් කර අවසන්ය.
මෙහිදී ශ්‍රී ලංකාව මලල ක‍්‍රීඩා, පිහිනුම්, දුන්නෙන් විදීම, බැඩ්මින්ටන්, අත්පන්දු, පැසිපන්දු, බොක්සිං, ඔරු පැදීම, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, කරාටේ, රුවල් ඔරු පැදීම, සත් සාමාජික රග්බි, සුළං ඔරු, රෝලර් ක‍්‍රීඩා, ස්කොෂ්, මේසපන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන්ප‍්‍රයාම, වොලිබෝල්, වෙරළ වොලිබෝල්, බර ඉසිලීම, මල්ලවපොර සහ වූෂු යන ක‍්‍රීඩා නියෝජනය කිරීමට සූදානමින් සිටියි.
දකුණු කොරියාවේ ඉංචියොන්හිදී 2014 වසරේ පැවැති අවසන් ආසියානු ක‍්‍රීඩා උළෙලටද 130 කට අධික කණ්ඩායමක් සහභාගි වුවද එහිදී විස්සයි20 ක‍්‍රිකට් පිරිමි රන් පදක්කම සහ කාන්තා ලෝකඩ පදක්කම් පමණි දිනාගත හැකිවූයේ. ශ්‍රී ලංකාව එම පදක්කම් දෙක දිනා නොගත්තේ නම් ඉංචියොන් ආසියානු ක‍්‍රීඩා උළෙල හුදෙක්ම වන්දනගමන් වනවාට සැක නැත. එම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 80 ක් සහ නිලධාරීන් 46 ක් සහභාගි වූ බව වාර්තා විය. කෙසේ වෙතත් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊට වඩා වැඩි වූ බව පසුව වාර්තා විය.
ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව මෙවැනි දැවැන්ත සංඛ්‍යාවක් රැගෙන යෑමෙන් පදක්කම් බලාපොරොත්තු වන්නේ නම් එය විහිළුවකි. එසේ නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ‘දහවල් හීනයකි’. ඉහත ප‍්‍රකාශය ශ්‍රී ලංකාව හැල්ලුවට ලක්කිරීමක් නම් නොවන අතර එය පරම සත්‍ය බව ක‍්‍රීඩාව ගැන දැනුමැත්තෝ පිළිගනිති.
ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම දැවැන්ත කණ්ඩායම සහභාගි කරවීමේ අරමුණ සියලු දෙනාට අවස්ථාව ලබාදීම බවයි. තවද බොක්සිං, බර ඉසිලීම, මලල ක‍්‍රීඩා, කබඩි, ජූඩෝ, කරාටේ, වූෂු, රග්බි, ගොල්ෆ් සහ පිහිනුම් යන ක‍්‍රීඩාවලින් පදක්කම් ලබාපොරොත්තු වන බවයි. එවැනි ප‍්‍රකාශවලින් සාමාන්‍ය ජනතාව මුලා කළ හැකිවුවද ක‍්‍රීඩා පරිපාලනය පිළිබඳව දැනුමැත්තන් මුලා කළ නොහැක.
පුද්ගලයන් 250 ක නඩයක් ඉන්දුනීසියාවට යැවීම ජාතික ඔලිම්පික් කමිටුවට වාර්තාවක් විය හැකිය. නමුත් මෙය ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට කරන දැඩි අපරාධයකි. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්දය ලබාදුන් ක‍්‍රීඩා සංගම්වලට කලගුණ සැළකීමේ මාධ්‍යයක් ලෙස ක‍්‍රීඩා උළෙල යොදාගැනීම ප‍්‍රසිද්ධ රහසකි. මෙහිදී සිදුවන්නේද එයම බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම කණ්ඩායම සඳහාම වෙන්කරගත් විශේෂ ගුවන් යානයකින් ඉන්දුනීසියාව බලා පිටත්ව යෑමට සූදානම් වන බව වාර්තා වේ. මේ සඳහා රුපියල් මිලියන ගණනක මුදල් වැයවන බව අමුතුවෙන් කිවයුතු නැත. එම මුදල තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සුබ සාධනය සඳහා යොදවන්නේ නම් මීට වඩා පලදායකය.
♦ විශේෂ ලියුම්කරුවකු විසිනි