දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුරදී විනය විරෝධීව හැසිරුණු ශ‍්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වහාම ක‍්‍රියාත්මක වන පරිදි තාවකාලික තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ධනුෂ්ක මෙම තහනමට ලක්වන විට දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස්කර සිටියේය.
එම ටෙස්ට් තරගයේ දෙවැනි දින රාත‍්‍රී අවසරකින් තොරව නියමිත වේලාවට හෝටල් කාමරයට නොපැමිණීම ධනුෂ්කට එරෙහිව එල්ලවී ඇති චෝදනාව බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල නවාතැන් ගෙන සිටි සුපිරි හෝටලයේ වෙනත් කාමරයකදී නෝවේජියානු ජාතික තරුණියක් ධනුෂ්කගේ මිතුරෙකු යැයි කියන පුද්ගලයකු අපයෝජනයට ලක්කරේ යැයි කියන සිද්ධියක් ද මෙම තහනමට තවත් හේතු වී තිබේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ලැබෙන නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ධනුෂ්කට එරෙහිව මූලික පරීක්‍ෂණයක් පවත්වා සියලුම තරගවලට සහභාගි වීමට නොහැකි ලෙස වසරක තහනමක් පනවා ඇති බවයි. ධනුෂ්කට එරෙහිව ඉදිරියේදී විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කරමින් සිටින අතර දෙවැනි ටෙස්ට් තරගයේ තරග මුදල එම පරීක්‍ෂණය අවසන් වනතෙක් රඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය ධනුෂ්කගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර අපචාර සිද්ධියට ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිසිම සම්බන්ධයක් නොමැති බවද පොලීසිය ප්‍රකාශකර තිබිණි. ධනුෂ්ක මීට පෙරද සංචාරයක් අතරතුර බීමත්ව හැසිරුණේ යැයි කියන චෝදනාවට මාස කිහිපයක තහනමකට ලක්ව සිටි අතර පාකිස්ථානයේදී පැවැති විස්සයි 20 තරගයට සහභාගි කරවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම තහනම ඉවත් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී දඟපන්දු යවන ක‍්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ පුරා රාත‍්‍රියක් හෝටල් කාමයෙන් අතුරුදන්ව සිටීමේ සිද්ධියේද ධනුෂ්ක කොටස්කරැවකු බව වාර්තා වේ. එම සිද්ධියට වැන්ඩසේට වසරක අත්හිටවූ තහනමක් පැනවීය.
ශ‍්‍රී ලංකා පිල නවාතැන් ගෙන සිටි කොළඹ සුපිරි හෝලටයේදී නෝවේජියානු තරුණිය අපයෝජනයට ලක්වූ සිද්ධිය වූ ස්ථානයේ ධනුෂ්ක සිටි බවට ඇය පොලීසියට පැමිණි කර තිබූ බව වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් ධනුෂ්කගේ මිතුරකු යැයි කියන පුද්ගලයා කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මිතුරා යැයි කියන පුද්ගලයාට ආධාර අනුබල දුන් බවට ධනුෂ්කට චෝදනාවක් නොමැති බවට පොලිසිය පවසයි.
අදාළ සිද්ධියේදී නෝවේජියානු තරුණියන් දෙදෙනකු පිළිබඳව කියවෙන අතර අපයෝජනයට ලක්ව ඇත්තේ අනෙක් තරුණියගේ යෙහෙළියක් බව වාර්තා වේ. එම තරුණිය ධනුෂ්කගේ ආරාධනාවකට අනුව ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය යොදා ගනිමින් හෝටල් කාමරය වෙන්කරවාගෙන ඇති බව වාර්තා වේ.
විනය විරෝධීව හැසිරුණු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කුණු කූඩයට වැටුණු බවට ශ‍්‍රී ලංකාව තුළම ඕනවාටත් වඩා උදාහරණ තිබේ. එම ක‍්‍රීඩකයන් ආදර්ශයට ගෙන නිවැරදි වීම වෙනුවට අඛණ්ඩව වැරදි කරන ක‍්‍රීඩකයන්ට දඬුවම් නොකළහොත් ක‍්‍රීඩාවද විනාශ වේ.
වරකාගොඩ ගමගේ