2018 ජුලි 28 වන සෙනසුරාදා

ටෙස්ට් ජයේ රස්නේ එක්දින තරගාවලියටත්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමත් සමඟ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නව පණක් ලැබී තිබේ. ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුව වන දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාද දීමනා රැසක් ඉදිරියේදී ලැබීමට නියමිතය. මෙම ජයග‍්‍රහණය දකුණු අප‍්‍රිකාවට එරෙහිව වසර 12 කට පසුව ලැබූ තරගාවලි ජයග‍්‍රහණය වීමද කැපී පෙනේ.

මෙම ජයග‍්‍රහණයත් සමඟ ශ‍්‍රී ලංකාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු 6ක් හිමිවූ අතර ශ‍්‍රී ලංකාව මේ වනවිට ප‍්‍රසාද ලකුණු 97ක් ලබා ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ පසුවෙයි. ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය ප‍්‍රසාද ලකුණු 97 බැගින් ලබා සිටියද එංගලන්තය ප‍්‍රසාද ලකුණු දශම කීපයකින් ඉදිරියෙන් සිටීම නිසා පස්වැනි ස්ථානයේ රැඳී සිටියි.

එංගලන්තය සහ ඉන්දියාව අතර ලබන අගෝස්තු මස එංගලන්තයේදී ටෙස්ට් තරග පහකින් සමන්විත තරගාවලියක් ආරම්භ වන අතර එම තරගාවලියෙන් ඉන්දියාව ජය ලැබුවහොත් එංගලන්තයට ප‍්‍රසාද ලකුණු අහිමිවීමෙන් ශ‍්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්වේ. එංගලන්තය ලබන නොවැම්බර් මස ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී ශ‍්‍රී ලංකා පිල ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු හිමිකරගනිමින් ඉදිරියට යෑමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට තිබේ. ශ‍්‍රී ලංකාව මෙම දකුණු අප‍්‍රිකානු සංචාරය ආරම්භ වීමට පෙර ප‍්‍රසාද ලකුණු 91 ක් ලබා හයවැනි ස්ථානයේ පසුවූ අතර පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 88 ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවෙයි.

ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙම තරගාවලියේදී නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන තිදෙනා තහනමකට ලක්ව ඔවුන්ගේ සේවය අහිමිව ජය ලැබීම වඩාත් කථාබහට ලක්ව තිබේ. වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් නායකයා ලෙස කටයුතු කළ ටෙස්ට් තරග තුනම පිට පිටම ජය ලැබීමද විශේෂත්වයකි. 

මෙම තරගාවලියේදී දිමුත් කරුණාරත්නගේ පිතිහරඹයත්, දඟපන්දු යවන්නන් වන රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ අකිල ධනංජයගේ පන්දු යැවීමත් දකුණු අප‍්‍රිකාවට හරහට හිටියේය. දිමුත් කරුණාරත්න ගාල්ල තරගයේදී ලකුණු 158 සහ 60 ද, එස්.එස්.සී. ටෙස්ට් තරගයේදී ලකුණු 53 සහ 85 ක් ද, රැස්කරමින් තරග දෙකේම වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය. දිමුත් මෙම ඉනිම හතරේ සාර්ථකත්වය නිසාම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. දිනේෂ් චන්දිමාල් මෙම ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූවද ටෙස්ට් පිතිකරුවන් අතර අටවැනි ස්ථානයේ රැඳී සිටියි.

රංගන හේරත් ටෙස්ට් තරග ටෙස්ට් තරග දෙකේදී කඩුලු 12ක් දවා ගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. ඩිල්රුවන් පෙරේරා, ගාල්ල ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක් සහ එස්.එස්.සී. ටෙස්ට් තරගයේදී 6 ක් ක් සමගින් කඩුලු 16 ක් දවා ගනිමින් ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ 23 වැනි ස්ථානයට පැමිණියේය. අකිල ධනංජය, එස්.එස්.සී. පිටියේදී කඩුලු 7 ක් දවා ගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 37 වැනි ස්ථානයේ පසුවෙයි.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය අද (29) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේදී මාස කීපයකට පසුව නැවතත් කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටියි. ශ‍්‍රී ලංකා පිල එක්දින තරගාවලිය ජය ලැබීම කෙරෙහිද බලාපොරොත්තු තබා සිටියි. කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකානු පිල ටෙස්ට් තරගාවලියේ පරාජයේ වාඩුව එක්දින තරගාවලියේදී ගැනීමට පිඹුrqපත් සකස්කර තිබෙනවාට සැක නැත.
ධනුෂ්ක ගුණතිලකට තහනමක් පැනවීම නිසා තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ෂෙහාන් ජයසූරියට නැවතත් එක්දින පිලේ අවස්ථාව හිමිවී තිබේ. මෙම ටෙස්ට් තරගාවලිය ජයග‍්‍රහණයෙන් ලැබූ ප‍්‍රසාද දීමනා සහ ඉදිරියේදී ලැබීමට ඇති ප‍්‍රසාද දීමනා සාක්කුවට දමාගැනීමට නම් අඛණ්ඩව දස්කම් අතර සිටිය යුතුය. එවිට තව තවත් ප‍්‍රසාද දීමනා ලැබෙනු ඇත.

► යොහාන් භාසුර