“ඔය නිලවරණ කමිටුවට විරෝධතා යොමුකළාට වැඩක් නෑ. ඒක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්” යැයි පසුගිය කාලයේ ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණවලදී අසන්නට ලැබුණි. ජාතික ක‍්‍රීඩා සංගම්වල බොහෝ නිලවරණවලදී නිලවරණ කමිටු පක්‍ෂක්ග‍්‍රාහිව කටයුතු කිරීම ඉහත ප‍්‍රකාශයට හේතු විය.
ජාතික ක‍්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේදී නිලවරණ කමිටුව එම සංගමයේ නිලධාරීන් විසින්ම පත්කරනු ලැබීම පිළිබඳව පසුගිය කාලය පුරාම විවේචන එල්ල විය. ජාතික ක‍්‍රීඩා සංගම්වලින් සමන්විත ප‍්‍රධාන කමිටුව වන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අවස්ථාවේදී ද නිලවරණ කමිටුවට චෝදනා එල්ල විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය වෙනුවෙන් පත්කළ නිලවරණ කමිටුවට එල්ල වූ චෝදනාව මෙයට ආසන්නතම උදාහරණය බවට පත්වේ. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා එම නිලවරණ කමිටුව විසුරුවා හැරි අතර එම නිලවරණය සම්බන්ධ සිද්ධිය මේ වනවිට අභියාචනාධිකරණ හමුවේ නඩු කටයුත්තක් බවට පත්ව තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා ක‍්‍රීඩා පනත නැවත වෙනස් කිරීමට පසුගිය සතියේ කටයුතු ආරම්භ කළේය. එහිදී අමාත්‍යවරයාගේ දැඩි අවධානය ක‍්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීම සම්බන්ධයෙන් යොමු වී තිබුණි.
මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා 2016 අංක එක දරණ නව ක‍්‍රීඩා පනතට අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් අහිමි කළ තීරක බලය නැවතත් ලැබෙන සේ පනතේ සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වේ. එම බලය බලයේ සිටින ක‍්‍රීඩා ඇමතිවරයාගේ ක‍්‍රියාකලාපය අනුව ක‍්‍රීඩාව ප‍්‍රගමනයට සහ විනාශයට පාවිච්චි වූ බව ඉතිහාසය තුළ ඕනවාටත් වඩා උදාහරණ තිබේ. එහි පළමු පියවර ලෙස පසුගිය අඟහරුවාදා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා සංගම්වල ප‍්‍රධාන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැති අතර එහිදී සියලුම ක‍්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් නිලවරණ කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයා යෝජනා කළේය.
එම නිලවරණ කමිටුව විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත වන බව ද අමාත්‍යවරයා පවසා තිබුණි. මෙම යෝජනාවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න යන මහත්වරු ඇතුළු කීපදෙනෙක් විරෝධය සහ සංශෝධන ඉදිරිපත් කළහ. කෙසේ වෙතත් ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන් බහුතරයක් අමාත්‍යවරයාගේ යෝජනාවට කැමැත්ත පළකර තිබුණි. එහිදී තිලංග සුමතිපාල මහතා පවසා තිබුණේ ක‍්‍රීඩා සංගමයකට ස්වාධීන නිලවරණ කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ඇති බවත් ක‍්‍රීඩා අමාත්‍යංශය පත්කරන කමිටුවකින් නිලවරණය පැවැත්වුවහොත් දේශපාලන අත්පෙවීමක් ඇති බවට හැඟෙන බවයි. රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පවසා තිබුණේ නිලවරණ කමිටුවට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන්, ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ අදාළ ක‍්‍රීඩා සංගමයේ නියෝජිතයෙක් ඇතුළත් විය යුතු බවයි.
ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා මෙහිදී ඔලිම්පික් කමිටු නිලවරණයේදී සිදුවූයේ යැයි කියන නීති විරෝධී කටයුතු පිළිබඳව ක‍්‍රීඩා සංගම් 12 ක් ඉදිරිපත් කළ විරෝධතාව පිළිබඳව නිසි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව ද අදහස් දක්වමින් වත්මන් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබේ. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත නිලවරණ කමිටුව පත්කිරීම පිළිබඳව තව දුරටත් ක‍්‍රීඩා සංගම්වලට අදහස් ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබා දුන්නේය.
♦ වරකාගොඩ ගමගේ