ජාතික ක‍්‍රීඩා කණ්ඩායම්වලට සිය දරුවන් හෝ හිතවතුන් ඇතුළත් කිරීමේ චේතනාවෙන් ජාතික ක‍්‍රීඩා සංගම්වල සහ ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරුවලට රිංගන පුද්ගලයන් පිළිබඳව පුවත් ශ්‍රී ලාංකිකයන්ට අඩුවකින් තොරව දැනගන්නට ලැබේ. එවැනි ආකාරයේම සිද්ධියක් පසුගිය සතියේ අධිකරණය දක්වා ගොස් තිබුණි. ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධාන තනතුරක් දරන්නේ යැයි කියන නිලධාරියකු ඉන්දුනීසියාවේදී ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ටෙනිස් කණ්ඩායමට සිය දියණිය හොර පාරෙන් ඇතුළත්කර ඇති බවට එහිදී චෝදනා එල්ල වී තිබූ බව වාර්තා වේ.
එම ක‍්‍රීඩිකාව ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් පැවැති තේරීම් තරගාවලියට සහභාගි නොවී ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට සියලු කටයුතු සූදානම් කර තිබීම මෙහිදී වඩාත් බරපතළ තත්ත්වයකි. තේරීම් තරගාවලියට සහභාගි වී දෙවැනි තැනට පත්වූ ක‍්‍රීඩිකාව ගෙදර තබා සහභාගි නොවූ ඔලිම්පික් ලොක්කාගේ දියණිය තරගාවලියට සහභාගි කරවීම කොතරම් සාධාරණද යන්න සලකා බැලිය යුතුය. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රනියම් මහතාද ශ්‍රී ලංකා ටෙනිස් සංගමය නියෝජනය කරන නිලධාරියකු වීම මෙහිදී බඩාත් බරපතළ තත්ත්වය බවට පත්වේ.
අසාධාරණයට ලක්වූ ක‍්‍රීඩිකාවද ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවන ලෙස අධිකරණය දැනුම් දී ඇති බව පසුගිය සතියේ දැනගන්නට ලැබුණි. එම ක‍්‍රීඩිකාව තරගාවලියට සහභාගි කරවීමට නම් තරගාවලි ලැයිස්තුවට ඇතුළත් කිරීමේ සිට විශාල කාර්යයන් ප‍්‍රමාණයක් ඉටු කළ යුතුය.
කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුවේ හිමිකරු ලෙස කටයුතු කරන නිලධාරියා අදාළ ක‍්‍රීඩිකාවට අවශ්‍ය කටයුතු මඟ හරිමින් සිටින බවද වාර්තාවේ. එසේ වුවහොත් අධිකරණ තීන්දුවක් තිබුණ එම ක‍්‍රීඩිකාවට ක‍්‍රීඩා උළෙලට සහභාගි වී ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවේ. ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ක‍්‍රීඩා සංගමයක සභාපති ධූරය දැරූ අදාළ නිලධාරියා එම ක‍්‍රීඩාවේ කාන්තා කණ්ඩායම ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවටද ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් සහභාගි වන ප‍්‍රධාන ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙලවලදී මෙවැනි අකටයුතුකම් සිදුවූ පළමු දෙවැනි හෝ සියවැනි අවස්ථාව මෙය නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට විරුද්ධව කිසිදු දඬුවමක් ක‍්‍රියාත්මක නොවීමෙන් ඉදිරියේද මෙවැනි අකටයුතුකම් වැඩි වැඩියෙන් බලාපොරොත්තු විය හැකිය.
♦ විශේෂ ලියුම්කරුවකු විසිනි