2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ක්‍රීඩා ඇමැති ඇඟිල්ල ඔසවයි

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

“මම සියලුම දේවල් ක්ලියර් කරලා තමයි මේක කරන්නේ. මේක කාටවත් කරන්න බැරි වුණානේ. මම මේක හදනවා” යැයි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය සතියේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී පැවසීය. මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා ‘මේක’ යනුවෙන් හැඳින්වූයේ ක‍්‍රීඩා නීතිය පිළිබඳවයි. ක‍්‍රීඩා නීතියේ පවතින ක‍්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීමේදී නිලවරණය කැඳවීම සහ නිලවරණ කමිටුව පත්කිරීම යන අවස්ථා දෙක පිළිබඳව මතුවී ඇති ගැටලුව පිළිබඳව මේ වනවිට දැඩි අවධානය යොමු වී තිබේ.

“නිලවරණය කැඳවන්නේ අදාළ ක‍්‍රීඩා සංගමයේ ලේකම්වරයා. එය මෙහෙයවන්නේ නිලවරණ කමිටුව. එය වෙනස්විය යුතුයි. එහි බලය අමාත්‍යවරයා ලබාගත යුතුයි. එවිට ස්වාධීනව එය ඉටුකළ හැකියි” යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.
දයාසිරි ජයසේකර මහතා ක‍්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටියදී සම්මත වූ 2016 අංක 01 දරණ ක‍්‍රීඩා පනතෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ තීරක බලය හැලුණ ද ඊට පෙර ක‍්‍රියාත්මක වූ 1973 අංක 25 දරන පැරුණි ක‍්‍රීඩා පනතේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ තීරක බලය වඩාත් කැපී පෙනුණි. නිලවරණ කමිටුව පත්කිරීම පිළිබඳව මෙහිදී මුස්තාපා මහතා වැඩිදුරටත් අවධානය යොමු කරමින් සිටියි. නිලවරණ කමිටුවට විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරුවන් පත්කිරීමට මේ වනවිටත් තීරණය කර තිබේ. එම විනිසුරුවන් පත්කිරීම පිළිබඳව අදහස් කීපයක් මේ වනවිට ඉදිරිපත් වී තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යංශය කෙළින්ම කමිටුවක් පත්කළහොත් දේශපාලන අතපෙවීම් සිදුවන බවට මේ වනවිටත් විවේචන එල්ල වෙමින් තිබේ. ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයා සතුව යෝජනා දෙකක් තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යංශය තුළ විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරුවන් සමන්විත සංචිතයක් පවත්වාගනිමින් ඒ අතරින් පස්දෙනකුගේ හෝ හත්දෙනකුගේ කමිටුවක් තෝරා ගැනීමේ අවස්ථාව අදාළ ක‍්‍රීඩා සංගමයට ලබාදීම පළමුවැන්න වේ. අමාත්‍යංශයෙන් විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරුවන් හත් දෙනකුගේ පමණ නම් ඉදිරිපත් කර ඉන් පස්දෙනකු තෝරාගැනීමේ අවස්ථාව අදාළ ක‍්‍රීඩා සංගමයට ලබාදීම දෙවැනි අදහස බවට පත්ව තිබේ.

ක‍්‍රීඩා නීතියේ අදාළ සංශෝධන කළ කෙටුම්පත මාධ්‍යයට නිකුත් කිරීමට ද අමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් පසුවීම වඩාත් සුබදායක පියවරකි. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයාට චෝදනා එල්ල වෙමින් තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු විධායක කමිටු සාමාජිකයන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ලබන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර නිලවරණය නොපැවැත්වුහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අතනතුරට වැටෙන බවයි.

එහිදී ඔවුහු එක එල්ලේම ක‍්‍රීඩා අමාත්‍යවරයා නිලවරණය ප‍්‍රමාද කරන බවට චෝදනා කළහ. කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍යවරයා වර්තමාන නිසිබලධාරියාගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර ලබාගැනීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට මේ මස 28 වැනිදා ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය. මෙය අමාත්‍යවරයා අයි.සී.සී. නිලධාරීන් මුණගැසෙන දෙවැනි අවස්ථාව වේ. 

නිසි බලධාරී හෝ අතුරු කමිටු පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තුළ විශ්වාසයක් නොමැති අතර ඒ හේතුවෙන් සාකච්ඡාවේ සාර්ථකත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උත්සහය මෙහිදී පැසසිය යුතුය. නමුත් මෙය කොතරම් දුරට ඉටුකර ගත හැකිද යන්න පිළිබඳව කිසිවක් පැවැසිය නොහැක. එහෙත් ක‍්‍රීඩා අමාත්‍යවරයා විශේෂයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳව විශේෂ යමක් කිරීමට සූදානම් වන බවට ඉඟි පළවීම වඩාත් සුබදායකය.    

♦ වරකාගොඩ ගමගේ