ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවට ‘ජාතික’ වගකීමක් බාරදී ඇතැයි අමතක කර ඇති බව ක‍්‍රීඩකයන් පිළිබඳව කටයුතු කරන ආකාරය සහ එහි සාමාජිකයන්ගේ හැසිරීම දෙස බැලීමේදී පැහැදිලි වේ. ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව සමස්ත ශ්‍රී ලංකාවේ මිලියන 20 කට අධික ජනතාවට එහා ගිය ජනතාවක් වෙනුවෙන් තීරණ ගන්නා පිරිසක් බව අමතක නොකළ යුතුය. තේරීම් කමිටුව ගන්නා තීරණ හාස්‍ය දනවන ඒවා නොවිය යුතුය. තේරීම් කමිටුව පසුගිය කාලයේ කළ ඇතැම් හැසිරීම හාස්‍ය දනවන මෙන්ම ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හානිදායක ඒවා බව කිව යුතුය.
ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ අවසන් තරගය වන දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගය එවැනි තීරණයකට ආසන්තම උදාරණය වේ. එම තරගය සඳහා නම් කළ පළමු 15 දෙනාගේ සංචිතයට ඉසුරු උදාන සහ කසුන් රාජිත ඇතුළත් නොවූ අතර ජෙෆ්රි වැන්ඩසේ සහ ෂෙහාන් මධුසංඛ ඉවත්කර එම දෙපළ පහළොස්දෙනාගේ සංචිතයට ඇතුළත් කෙරිණි. වැන්ඩසේ සහ මධුසංඛ නැගී එන සංචිතයට ඇතුළත්ව සිටීම නිසා ඔවුන්ව ජාතික සංචිතයෙන් ඉවත්කිරීමට කටයුතු කළ බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
යොවුන් වේගපන්දු යවන්නකු වන බිනුර ප‍්‍රනාන්දු පළමු 15දෙනාගේ සංචිතයට ආරම්භයේ සිටම ඇතුළත්ව සිටියද ඔහුට තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. එය එසේ වුවද අතිරේක ලැයිස්තුවේ සිට පැමිණි ඉසුරු සහ රාජිත දෙපළම තරගයට ක‍්‍රීඩා කළහ. මෙවැනි තීරණවලින් පැහැදිලි වන්නේ තේරීම් කමිටුවේ තීරණ වැනෙන බවය. බිනුර සුදුසුයැයි සංචිතයට නම් කළේ නම් ඔහු ක‍්‍රීඩා කළ යුතුය. නමුත් එය එසේ නොවීය. මෙහි වඩාත් බරපතළ තත්ත්වය බවට පත්ව ඇත්තේ ඉසුරු උදාන යනු විස්සයි20 තරගවලට විශේෂ යැයි තේරීම් කමිටුවම නම් කළ වේගපන්දු යවන්නකු නමුත් ඔහු අතිරේක ලැයිස්තුවේ සිටීමය.
ඉසුරු උදාන විදේශ විස්සයි20 තරගාවලියකට සහභාගි වීමට තේරීම් කමිටුවෙන් අවසර ඉල්ලූ අවස්ථාවේදී ඒ සඳහා අවසර නොලැබීමෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිට තිබේ. ඉන්පසුව ඔහුව ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමඟ බංග්ලාදේශ සංචාරයට සහභාගි කළද එහිදීද අඛණ්ඩව තරග ලැබූ නොමැත. එවැනි තත්ත්වයක් තුළ ඔහුව ජාතික විස්සයි20 පිලේ අතිරේක ලැයිස්තුවට දැමීම සාධාරණද යන්න සිතා බැලිය යුතුව තිබේ. මෙම තේරීම් කමිටුව කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 10 ක් නම් කළ අවස්ථා මෙන්ම සහ ඇතැම් ක‍්‍රීඩකයන් සංචාරවල සිටියදී ශ්‍රී ලංකාවේ තරගවලට නම් කළ අවස්ථා ද තිබුණි.
ලසිත් මාලිංග සම්බන්ධ සිද්ධියේ ද තේරීම් කමිටුව වැනෙන සුළු ප‍්‍රතිපත්තියක කටයුතු කළේය. මාලිංග යනු පළාත් තරගාවලියක ක‍්‍රීඩා කර නැවත කණ්ඩායමට ඒමට අවශ්‍ය ක‍්‍රීඩකයකු නොවන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මාලිංග මීට පෙර අන්තර් සමාජ තරගාවලියට ද සහභාගි වූ අතර ඔහු එහිදී කඩුලු ලබාගත්තේය. එහිදී අවස්ථාව ලබානොදුන් තේරීම් කමිටුව විවේචන එල්ල වෙද්දී ඔහුගෙන් කඩුලු ඉල්ලයි.
වර්තමාන ජාතික තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චන්දික හතුරුසිංහ, ගාමිණි වික‍්‍රමසිංහ, එරික් උපශාන්ත සහ ජෙරී වවුටස් යන මහත්වරු කටයුතු කරති. හතුරුසිංහ හැරෙන්නට සෙසු සිවුදෙනාම තේරීම් කමිටු සාමාජිකයන් ලෙස දීමනාවක් ලබති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම දීමනාව ලබාදෙන්නේ තරග තීරකයකු ලෙස කටයුතු කිරීමට හෝ එසේ නැත්නම් තරග නැරඹීමට යැයි ප‍්‍රවාහන පහසුකම් ලබාගෙන සූරියවැව හෝටලයේ විවේක ගැනීමට නම් නොවේ. එසේ නොවේ නම් තරග නැරඹීමට පැමිණ ෆේස්බුක් කෙටීමට නොවේ.
මෙම තේරීම් කමිටුවේ සමහරු තේරීම් කමිටුවේ යාවජීව සාමාජිකයන් බවට පත්ව සිටිති. ඔවුන්ට තේරීම් කමිටුව විනෝදයක් එසේත් නැත්නම් පැයක් දෙයක් සාකච්ඡා කර නම් 15 ක් ලබාදීමේ රාජකාරියකට පමණක් සීමාවී තිබේ.
I යොහාන් භාසුර