ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වියදම් සුපිරි වුවද ඒවායේ ගුණාත්මක බව පිළිබඳව ගැටලු සහගත අවස්ථා රැසක් දැන් පැවැත්වෙන ප‍්‍රධානතම විස්සයි20 තරගාවලිය තුළදී දැකගත හැකිවිය. විස්සයි20 තරගයකදී ලකුණු 4 ක් කොතරම් වටින්නේද යන්න වඩාත් වැදගත් වන්නේ තරගයේ ප‍්‍රතිඵලය ලෙස බැලීමේදීය. එවැනි ලකුණු අහිමිවීමක් පහසුකම් අඩුවීමෙන් හෝ තාක්‍ෂණික දෝෂයකින් සිදුවූයේ නම් එය වඩාත් කනගාටුදායකය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පිල සහ දඹුල්ල පිල අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී රූපවාහිනී රූපරාමු නොමැති වීම හේතුවෙන් මහනුවර පිලට ලකුණු 4 ක් අහිමි විය. මෙම තරගයෙන් දඹුල්ල පිල ලකුණු 6 ක තියුණු ජයක් ලැබීය. මහනුවර පිලට අහිමිවූ ලකුණු 4 තිබුණේ නම් පරාජය තවත් තියුණුවනු ඇත.
මහනුවර පිලේ දසුන් ශානක ඉහළින් ගැසූ පහරක් හතරේ සීමාව අසළ සිට ක‍්‍රීඩකයකු රැකගෙන සමබරතාව නොමැති වීම නිසා පන්දුව නැවත ක‍්‍රීඩාංගණය තුළට විසි කළේය. ඔහු හතරේ සීමාව පාගාගෙන සිටියේ ද යන්න පරීක්‍ෂා කිරීමට තෙවැනි විනිසුරුට යොමු කළ ද එය පරීක්‍ෂා කිරීමට රූපවාහිනී නිෂ්පාදකයා සතුව රූපරාමු නොවීය. එම ක‍්‍රීඩකයා පන්දුව රැකගන්නා අවස්ථාවේදී හතරේ සීමාව පාගාගෙන සිටි බවට ඡායාරූප ශිල්පීන් සතුව ඡායාරූප තිබුණි. මහනුවර පිල එම ඡායාරූප තරග තීරකවරයාට යොමු කිරීමෙන් විනාඩි 10 ක පමණ කාලයක් තරග අත්හිටුවා තිබීමට සිදුවිය. තරග තීරකවරයාගේ අවසන් තීරණය වූයේ ඡායාරූප බලා එම තීරණය ගත නොහැකි බවත් මහනුවර පිල දිවීමෙන් ලබාගත් ලකුණු 2 පමණක් ලබාදීමටත්ය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පෞද්ගලික ආයතනයක් හරහා චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක සහ අන්තර්ජාලයේ සජීවිව තරග විකාශය කිරීම සඳහා දිනකට රුපියල් 650,000 ක මුදලක් ගෙවන බව වාර්තා වේ. මෙවැනි දැවැන්ත මුදල් ගෙවද්දී රූපරාමු නොමැති වීම පිළිබඳව ක‍්‍රිකට් ආයතනය පරීක්‍ෂණයක් කළ යුතුය. නමුත් මේ දක්වා එවැනි දෙයක් සිදුවී නොමැත.
ගුණත්වයෙන් තොර සුපිරි වියදම් කරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ විදුලි සෝපානවලට ඉබි යතුරු දමා ජනතාව අපහසුතාවට පත්කරමින් මුදල් ඉතිරි කිරීමට උත්සහ කිරීම සැබවින්ම විහිළුවකි. එම ඉබි යතුරු සවි කිරීමට විශාල මුදලක් වැය වී ඇති බව නම් පැහැදිලිය. පල්ලෙකැලෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට විශාල බිල් ලැබෙන බවද තතු දන්නෝ පවසති.
විස්සයි20 තරගාවලියේ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ තරග පැවැති දින දෙකේදී මුදල් ඉතිරි කිරීමට යැයි පවසමින් මාධ්‍ය ගොඩනැගිල්ල පාවිච්චියට නොගෙන ප‍්‍රධාන ගොඩනැගිල්ල මාධ්‍යයට වෙන්කර තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස තාක්‍ෂණික පහසුකම් ලබාගැනීමට නොහැකි වීමෙන් ජාතික රූපවාහිනියේ සජීවි විකාශය දෙවැනි තරගයේ පළමු ඉනිමේ මැද දක්වා ප‍්‍රමාද විය. රුපියල් ලක්‍ෂ 750 ක් වැය කරමින් මෙම තරගාවලිය සංවිධානය කිරීම තුළ මෙවැනි මසුරු වැඩ කරන්නේ කවුරුන්ද යන්න සොයා බැලීම බලධාරීන්ගේ යුතුකමකි. ඔවුන් මෙවැනි ලෝභකම් කරමින් ඉතිරි කරන මුදල් යන්නේ කාගේ සාක්කුවට ද යන්න ප‍්‍රශ්නාර්ථයකි.
විශේෂ ලියුම්කරුවකු විසිනි
♦ ඡායාරූප: ළහිරු හර්ෂණ