2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ජකර්තා “පින්” සවාරියෙන් පස්සේ...

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

ඉන්දුනිසියාවේදී පසුගියදා නිමාවූ 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට හුදෙක්ම සවාරියක් පමණක් වූ බව මේ වනවිට අමුතුවෙන් කිවයුතු නැත. එම ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලක්‍ෂ 250 ක් සමඟ රුපියල් ලක්‍ෂ 500 ක පමණ මුදලක් වැය වූ බව වාර්තා වේ. මෙම ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලැබූ ඉහළතම ප‍්‍රතිඵලය වූයේ සත් සාමාජික රග්බි පිල සිවුවැනි ස්ථානයට පත්වීමයි. 

මෙවර ක‍්‍රීඩා උළෙලේ ශූන්‍ය ප‍්‍රතිඵලය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කනස්සල්ලට පත්ව සිටින බව ද දැනගන්නට තිබේ. එම ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ කිසිවකු ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් නොගෙනාවද ඇතැමුන්ගේ සාක්කු පිරුණු බව ප‍්‍රසිද්ධ රහසකි. මෙවර ආසියානු ක‍්‍රීඩා උළෙල නිර්ණායකයක් ලෙස තබාගෙන ඉදිරියේදී පැවැත්වෙන ක‍්‍රීඩා උළෙලවලදී පදක්කම් දිනාගත හැකි ක‍්‍රීඩාවලට පමණක් සහභාගීත්වය සීමාකරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසයි. 

නේපාලයේදී ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ සිට ක‍්‍රීඩා අමාත්‍යවරයා වේවැල අතට ගැනීමට සූදානම් වෙයි. එම ක‍්‍රීඩා උළෙලේ සිට පදක්කම් දිනාගත හැකි ක‍්‍රීඩාවලට පමණක් සහභාගි කරවීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල යනු ශ්‍රී ලංකාව සහභාගි වන ප‍්‍රාථමිකම ක‍්‍රීඩා උළෙල වේ. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් මෙම ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් 20 අධික සංඛ්‍යාවක් දිනාගනී. ක‍්‍රීඩා අමාත්‍යවරයා පළමුවෙන්ම කළ යුත්තේ ක‍්‍රීඩා උළෙල ජාතික ඔලිම්පික් කමිටුවට ඡන්ද බිලීබා ගැනීමේ අවස්ථාවක් බවට පත්කරගැනීමට ඇති ඉඩකඩ ඇහිරීමය. 

“ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ඔලිම්පික් කමිටුව වැඩ කළ ආකාරය මම දැක්කා. නැවත එහෙම වෙන්න දෙන්නේ නෑ” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබුණි.

ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැමුන් ඇන්දීමට උපන් හපන්කම් දක්වන බවට ඉතිහාසයේ  ඕනෑතරම් සාක්‍ෂි තිබේ. ආසන්නතම උදාහරණය ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලයි. කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍යවරයා ආසියානු ක‍්‍රීඩා උළෙලට පෙරද මෙම ප‍්‍රකාශය කළ ද එය ක‍්‍රියාවට නැංවූයේ නැත. පාර්ලිමේන්තුව හමුවේ තමන් ඉදිරිපත් කළ පනතට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ අමාත්‍යවරයකුගේ ප‍්‍රකාශයක අවලංගුතාවය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබේ.

විශේෂ ලියුම්කරුවකු විසිනි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00