බංග්ලාදේශයේදී පැවැති 12 වැනි දකුණු අසියානු සම්මේලන පාපන්දු තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු නිශාම් පකීර් අලී මහතා කළ ප‍්‍රකාශයක් බොහෝ දෙනකුගේ හාස්‍යයට ලක්ව තිබේ. එහිදී නිශාම් පකීර් අලී මහතා පවසා තිබුණේ 2020 වන විට ශ්‍රී ලංකා දකුණු අසියාවේ අංක එකට ගෙන ඒමේ වගකීම තමන් බාරගන්නා බවයි.
ඩකා නුවරදී පැවැති මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙකේදී ඉන්දියාව හමුවේ ගෝල 2x0 කින් පරාජය වූ අතර මාලදිවයිනට එරෙහිව තරගයේදී දෙපිලම ගෝල රැස්කිරීමට අපොහොසත්වීමෙන් විසඳුමකින් තොරව අවසන් විය.
පළමු වටයේ ප‍්‍රතිඵල අනුව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර කාසියේ වාසිය උරගා බැලූ අතර එහිදී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ප‍්‍රදර්ශනය කළ දස්කම් අනුව තවත් වසරකින් හෝ එකාහමාරකින් දකුණු අසියාවේ අංක එකට ගෙන ඒමට පකීර් අලී මහතාට හැකිනම් ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාව ලබන විශාල ජයග‍්‍රහණයකි.
නේපාලයේදී 2013 වසරේ පැවැති දකුණු අසියානු සම්මේලන පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මාලදිවයින හමුවේ ගෝල 10x0 පරාජයක් ලැබීය. එම පරාජය සමඟ සැසදීමේදී මෙවර තරගය විසඳුමකින් තොරව අවසන් කිරීම අගය කළ යුතුය.
එදා එම මාර පරාජය ලබන විට ශ්‍රී ලංකා පාපන්දු සම්මනේලනයේ සභාපති ධූරය දැරූ රංජිත් රුද්‍රිගු මහතා ඒ අවස්ථාවේදී පැවැසුවේ ඊට පෙර හිටපු පාලකයන්ගේ කුමන්ත‍්‍රණයක් හේතුවෙන් එවැනි පරාජයක් ලැබූ බවයි.
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අරුණ ද සිල්වා මහතා පවසා තිබුණේ මෙවර මාලදිවයිනට එරෙහිව ක‍්‍රීඩා කළ ආකාරය අනුව කණ්ඩායමේ පැහැදිළි දියුණුවක් දැකිය හැකි බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී එකම ගෝලයක් හෝ වාර්තා කිරීමට අපොහොසත් විය. පාපන්දු තරග ජය ලැබීමට නම් ගෝල ලැබිය යුතුය.
ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ වලිගයේත් කෙළවර වන 200 වැනි ස්ථානයේ රැඳී සිටියි. ඉන්දියාව ශ්‍රේණිගත කිරිමේ 96 වැනි ස්ථානයේ ද, මාලදිවයින 150 වැනි ස්ථානයේ ද, පසුවෙයි. නේපාලයේදී ලබන වසරේ පැවැත්වෙන දකුණු අසියානු ක‍්‍රීඩා උළෙලේදී පැහැදිළි වෙනක් ප‍්‍රදර්ශනය කරන බව ජාතික පුහුණුකරු වැඩි දුරටත් පවසා තිබුණි. පකීර් අලී මහතා එවැනි මැජික්කරුවෙක් නම් එය කොතරම් අගනේ ද? ඒ දෙස ශ්‍රී ලාංකිකයෝ දෑස් අයා බලා සිටිති.
♦ වරකාගොඩ ගමගේ