2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

අලුත් ක්‍රීඩකයන් එකතු කිරීමේ අවසානයක් නැද්ද? - ප්‍රවීණයෝ විමසති

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 255

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තීරණ ගැනීම් කවදා කෙසේ අවසන්වේදැයි දකුණු අප‍්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන එක්දින තරගාවලිය දෙස බැලීමේදී නිශ්චිතව කිව නොහැක. සමාජ වෙබ් අඩවිවල පසුගිය කාලයේ පළවී තිබූ ආකාරයට තව වසර කීපයක් යනවිට ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් පඳුරකට ගැසූ පමණින් අහුලා ගැනීමේ අවස්ථාව තිබේ. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව ජාතික කණ්ඩායම යන ගෞරවනීය ස්ථානය මේ වනවිට අත්හදා බැලීම් තටාකයක තත්ත්වයකට ඇද දමා අවසන්ය.

කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන වැනි එක්දින සහ විස්සයි20 තරගවලට වඩාත් සුදුසු ක‍්‍රීඩකයන් ගෙදර තබා එමෙන්ම ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ඩිල්රුවන් පෙරේරා එකම තරගයකට හෝ ක‍්‍රීඩා නොකළ පසුබිමක් තුළ තක්‍ෂිල ද සිල්වා සහ සඳුන් වීරක්කොඩි වැනි ආධුනික ක‍්‍රීඩකයන් දකුණු අප‍්‍රිකාව සංචාරයට සහභාගි කරවීම කොතරම් දුරට සුදුසුදැයි ක්‍රිකට් ප්‍රවීණයෝ ප්‍රශ්න කරති.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීමෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එම ස්ථානයට සඳුන් වීරක්කොඩි ආදේශ කළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී තේරීම් කමිටුව කරුණු පැහැදිලි කළ යුතු යැයි ඔවුහු කියති.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ද ආබාධයකට ලක්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුබිමක් තුළ පාලකයන් මෙවැනි තීරණ ගැනීමේදී ක‍්‍රීඩා බලධාරීන් නිකම් සිටීම අනුමත කළ නොහැකි බව ඔවුන්ගේ අදහසය. 
උපුල් තරංග සංචිතයට කැඳවූයේ අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් නම් ඔහු වඩාත් සාර්ථක වී ඇති ආරම්භක පිතිකරු ස්ථානය ලබාදිය යුතුය. කෙසේ වෙතත් තේරීම් කමිටුවට එවැනි අවශ්‍යතාවක් හෝ නොමැති තරම්ය. 

පෝර්ට් එළිසෙබත්හිදී පැවැති පළමු එක්දින තරගයට පෙරදින හෝටල් කාමරයට පැමිණි සඳුන් වීරක්කොඩිට පසුදින පෙරවරුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලැබීම ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවාසනාව මිස අනෙකක් විය නොහැකිය. සඳුන් වීරක්කොඩි පෙර දින රාත‍්‍රී සංචිතයට එකතු වී දකුණු අප‍්‍රිකානු වාතලය තුළ හැරිහැටි හුස්ම ගැනීමට හෝ නොහැකි වූ බවට සැක නැත. සනත් ජයසූරිය පසුගිය කාලය පුරා ගෙන ආ නවකයන්ගේ බහුතරය වැටුණු බෝට්ටුවට ඔහුද ඇද වැටුණේ ඒ හේතුවෙනි.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට කැඳවූ තක්‍ෂිල ද සිල්වාට අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ බැට් එක උස්සා ගැනීමට නොහැකි බව ලබාදුන් තරග දෙකේදී දැකගත හැකි විය. වේගවත් පිතිකරුවකු යැයි සංචිතයට ඇතුළත් කළ තක්‍ෂිලට පන්දුව පිත්තෙන් තල්ලු කිරීමට පමණක් හැකියාව තිබුණි. තක්‍ෂිල ක‍්‍රීඩා කළ ඉනිම දෙකේදී රැස්කළ හැකි වූයේ ලකුණු 3 ක් පමණි.

ජාතික කණ්ඩායමේ ස්ථානයක් වර්තමාන ක‍්‍රිකට් පරිපාලනයේ බලවතකුගේ හිතවතකුගේ ක‍්‍රීඩා සමාජයක ක‍්‍රීඩකයකුට ලබාදීමේ කූට උපක‍්‍රමයක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව පසුගිය සංචිත දෙස බැලීමේදී අවබෝධ කරගත හැකිය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් අඛණ්ඩව මෙසේ අයාලයේ ගියහොත් ලබන ලෝක කුසලාන තරගාවලියේ ද කණ්ඩායම අත්හදාබැලීම් සිදුකරමින් සිටිනු ඇත.

♦ සටහන: වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00