ශ්රී ලංකා රග්බි ක‍්‍රීඩාව වසර කීපයක සිට ආසියානු සත් සාමාජික රග්බි පිටියේ තෙවැනි හෝ සිවුවැනි ස්ථානය ලබමින් සුපුරුදු ලෙස කාලය ගත කරයි. ශ‍්‍රී ලංකා පිල ඉන් ඉහළට එසවීමට රග්බි පාලකයන්ට කිසිදු උවමනාවක් නැත. මෙම වසරේ ආසියානු සත් සාමාජික තරගාවලි මාලාවේ පළමු වැන්න හොංකොංහිදී පසුගිය සෙනසුරාදා අවසන් වූ අතර එහිදී ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ලකුණු 40-12 කින් පිලිපීනය පරාජය කිරීමට සමත් වූහ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පිල කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 31-0 කින් පරාජයට පත්විය.
ශ‍්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි පිල පසුගිය වසර කීපයේදීද වරින්වර තෙවැනි ස්ථානය හිමිකර ගත්තද නැවත සිව්වැනි ස්ථානයට වැටුණා මිස දෙවැනි ස්ථානයට යෑමට නොහැකි විය. දෙවැනි ස්ථානයට පැමිණීමට නම් ජපානය, හොංකොං සහ දකුණු කොරියාව යන රටවල් පරාජය කළ හැකි කණ්ඩායමක් තිබිය යුතුය. එවැනි කණ්ඩායමක් නිර්මාණය කිරීමට සැලසුමක් අවශ්‍යය. නමුත් ශ‍්‍රී ලංකා රග්බි සංගමයට එවැනි සැළැසුමක් නැත. තරගාවලියකට මාසයකට දෙකකට පෙර සංචිතයක් එකතු කර ඉන් කණ්ඩායමක් නම් කිරීම එකම ක‍්‍රමවේදය වේ.
ඉන්දුනීසියාවේදී පසුගියදා අවසන් වූ ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ලක්වීම නිසා හොංකොං සත් සාමාජික රග්බි තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි විය. පාසල් ක‍්‍රීඩකයන් වයස 20 පමණ වනවිට වැඩි ශක්තියකින් සහ වේගයකින් යුතු ක‍්‍රීඩකයන් කිරීමට වැටසහනක් සකස් කිරීම වැනි ව්‍යාපෘති කළ හැකි වුවද එවැනි දෙයක් පෙනෙන තෙක්මානයක නැත. අවම වශයෙන් ක‍්‍රීඩකයන් ආබාධවලින් වළක්වා ගැනීමට හෝ ශ‍්‍රී ලංකා රග්බි තුළ වැඩසටහනක් නැත.
ශ‍්‍රී ලංකාවට සැලසුමක් තිබුණහොත් තවත් වසර කීපයකින් සත් සාමාජික රග්බි ක‍්‍රීඩාවෙන් ආසියාවේ තවත් පියවරක් ඉදිරියට යෑම එතරම් අපහසු නොවනු ඇත. මැලේසියාව වැනි රටවල් රග්බි ක‍්‍රීඩාවෙන් ඉදිරියට ඒමට විවිධ උපක‍්‍රම භාවිතා කරයි. එහිදී ඔවුන් වෙනත් රටවලින් කළු ජාතික ක‍්‍රීඩකයන් රැසක් බඳවාගෙන තිබේ. ශ‍්‍රී ලංකාවද මීට වසර පහකට පෙර කළු ජාතිකයන් කිහිප දෙනකුට පුරවැසිභාවය ලබාදුන්නේ යැයි පවසමින් ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කළ ද පසුව ඔවුන් පිළිබඳව ගැටලුව ඇති විය.
හොංකොං සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළඟ ශූරතාව දිනාගත්හ. වර්තමාන රග්බි පාලකයන්ට ක‍්‍රීඩාව දියුණු කිරීමේ සැබෑ උවමනාවක් තිබේද යන්න සැක සහිතය. එවැනි උවමනාවක් තිබේ නම් රග්බි ක‍්‍රීඩාව වසර කිහිපයක් මෙසේ එක තැන පල් නොවනු ඇත.
♦ වරකාගොඩ ගමගේ