2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

හොරුන්ට සලකන ජ්‍යෙෂ්ඨයන් කපන ශ්‍රීලංකා ක්‍රිකට් ලොක්කෝ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යනු අරුම පුදුම තැනක් බව සමස්ත ක‍්‍රිකට් ලෝකයටම ප‍්‍රසිද්ධ රහසකි. එම පුදුම ලෝකයේ පසුගිය සතියේ පහත් තැනින් වතුර බැස්වීමට කළ උත්සාහයක් ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ මැදිහත් වීමෙන් වැළකී ගියේය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයේ එකම සහ වසර 17 ක සේවා කාලයක් ඇති ස්ථිර සේවකයා වන චානක සිල්වා මහතාට කිසිදු හේතුවක් නොමැතිව මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයට දඬුවම් මාරුවක් ලබාදීම මේ සිද්ධියයි.

මෙම මාරුවේ කැපී පෙනෙන තත්ත්වය බවට පත්වූයේ ක‍්‍රිකට් ආයතනය තුළ කොන්ත‍්‍රාත් පදනමට සේවය කරන දැඩි මූල්‍ය චෝදනා එල්ල වූ පුද්ගලයන් සේවය කරද්දී ක‍්‍රිකට් ආයතනයේ පැරණිතම සේවකයන් කිහිපදෙනාගෙන් කෙනෙකු චෝදනා පත‍්‍රයක් නොමැතිව ඔහුට සේවයක් කළ නොහැකි ස්ථානයකට මාරු කිරීමය. මෙම මාරුකිරීම පිටුපස දැවැන්ත මෙහෙයමුක් ක‍්‍රියාත්මක වූ බව ක‍්‍රිකට් ආයතනයෙන් දැනගන්නට තිබේ. හිටපු ලොක්කෙකුගේ දේශපාලන වැඩ කරන කාන්තාවකට එම පත්වීම ලබාදීම මෙම මෙහෙයුමේ අවසන් ඉලක්කය බව දැනගන්නට තිබේ. 

මෙවැනි මාරු කිරීම් කරන්නේ නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දැනට සේවය කරන ඉහළ සිට පහළට පිරිසෙක් අඩකටත් වඩා වැඩි පිරිසක් ගෙදරම යැවිය යුතුය. නමුත් මේ එවැනි මාරු කිරීමක් නොවේ. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් තනතුරක කොන්ත‍්‍රාත් පදනමට සේවය කරන පුද්ගලයකු නිදහස් කුසලාන තරගාවලියේ වියදමක් ලෙස රුපියල් ලක්‍ෂ 4 ක පමණ පිළිගත නොහැකි බිලක් ඉදිරිපත් කර ක‍්‍රිකට් ආයතනයෙන් මුදල් ලබාගෙන තිබුණද ඔහු මේ මොහොත වනවිටත් කිසිදු බාධාවකින් තොරව සේවයේ යෙදී සිටියි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට තිබූ රුපියල් කෝටි 90ක ඇති දැවැන්ත මුදලක් ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප‍්‍රධානියකු ඔහුගේ පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත්තේ යැයි කියන උත්සාහයක් පසුගියදා අනාවරණය විය. අවම වශයෙන් මෙම පුද්ගලයන්ගෙන් ප‍්‍රකාශයක් හෝ සටහන් කරගෙන තිබේ ද යන්න සැකසහිතය. 

මෙම සිද්ධීන් පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ වරදකරුවකු නොවී එම පුද්ගලයන්ගේ සේවය අත්හිටුවිය නොහැකි බවත් ක‍්‍රිකට් ආයතනයේම වෙනත් ස්ථානයක මූල්‍ය ප‍්‍රධානියාට සේවය කිරීමට පහසුකම් සපයන බවත්ය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරියා චෝදනා එල්ල වන ලොක්කන්ට එවැනි පහසුකම් සළසමින් සිටියි. එය එසේ වුවද වරදක් නොකළ මාධ්‍ය සහයක නිලධාරියාට යුද සමයේ යාපනයට මාරුවක් දෙන්නාක් මෙන් මග්ගොනට මාරැවීම් ලබා දෙයි. තිලංග සුමතිපාල මහතාගේ පාලනය අවසන් වීමට ඔන්න තිබියදී ප‍්‍රධාන විධායක නිලධාරීන් දෙපළගේ වැටුප් වැඩි කරගත් බව ප‍්‍රසිද්ධ රහසකි. ඒ සදහා වන විධායක සභා වාර්තා බොහෝ මාධ්‍ය ආයතනවලට ද ආවේය. නමුත් ඒවා ක‍්‍රිකට් මාධ්‍ය ඒකකයෙන් හෝ පියඹා පැමිණියා නොව. විධායක කමිටු සාමාජිකයන්ගෙන්ම ලැබුණු ඒවාම වේ.

ක‍්‍රිකට් ආයතනයේ තොරතුරු වෙනත් පාර්ශවයන්ට ලබාදුන්නේ යැයි චෝදනාවට මීට මාසයකට පමණ පෙර ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් දෙපළක් ආර්.ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයට මාරුකර තිබුණි. වරදක් කර ඇත්නම් ආයතන නීති රීතිවලට දඩුවම් කිරීමේ ප‍්‍රශ්නයක් නැත. නමුත් නීතිය කාටත් පොදු විය යුතුය. ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මේ පිළිබඳව දැනුවත් වූ වහාම එම පත්වීම අවලංගු කර චානක මහතා නැවත සේවය පිහිටුවීම අගය කළ යුතුය.  

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි