2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

අයියලාගේ බිලිබෝයි මැතිව්ස්

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 329

ශ‍්‍රී ලංකාවේ විවිධ කාලවල තව ආකාරයකට කියනවා නම් භීෂණ සමයේ එසේත් නැත්නම් දේශපාලනයේ අපි ‘බිලිබෝයි’ ගැන අසා ඇත්තෙමු. නමුත් අපිට පසුගිය ඉරිදා අපට අසන්නට ලැබුණේ ක‍්‍රිකට් ‘බිලිබෝයි’ කෙනෙක් ගැනය. ඒ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු ශ‍්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක‍්‍රිකට් කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත්කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය. මෙම තීරණය ”බිලිබෝයි’’ තීරණයකට සමාන එකකි. 

මෙය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පසුගිය සිකුරාදා අවසන් වූ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිල බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලැබූ පරාජය මූලික කරගෙන එළඹි තීරණයකි. ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ඇන්ජලෝ මැතිව්ස් පසුගිය ඉරිදා පස්වරුවේ හමුවූහ. එහිදී තේරීම් කමිටුව නායකත්වයෙන් ඉවත්වන ලෙස මැතිව්ස්ගෙන් ඉල්ලා තිබුණි. එයට ප‍්‍රතිචාර දැක්වූ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එදින මධ්‍යම රාත‍්‍රී පසුවී මිනිත්තු කීපයක් ගතවීමෙන් පසුවද දැඩි උනන්දුවකින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එළඹෙන එංගලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලේ නාකයත්වයට දිනේෂ් චන්දිමාල් නම් කළ බවයි. එහි වැඩි දුරටත් සඳහන් වූයේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ බවකි.

ඇන්ජලෝ මැතිව්ස් පසුදින එනම් පසුගිය සඳුදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් යොමුකරමින් පවසා තිබුණේ තේරීම් කමිටුව සහ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තමන්ට නායකත්වයෙන් ඉවත්වන ලෙස කළ ඉල්ලීම පිළිබඳව තමන් පුදුමයට පත්වූ බවයි. 

“ආසියානු කුසලානයේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලැබූ පරාජයට මා බිල්ලෙක් බවට පත්කරගෙන තිබෙනවා. එහි වගකීමේ කොටසක් මටත් තිබෙනවා. නමුත් පරාජයේ සම්පූර්ණ වගකීම මගේ පිට පැටවීම පිළිබඳව මම එකඟ වන්නේ නෑ. එම තරගාවලියේදී එළඹි සියලුම තීරණ තේරීම් කමිටුව සහ ප‍්‍රධාන පුහුණුකරු දැනුම්වත්ව ගත් තීරණයි” යැයි මැතිව්ස් එම ලිපියේ සඳහන් කර තිබේ. 

“මම තේරීම් කමිටුවේ සහ ප‍්‍රධාන පුහුණුකරුගේ ඉල්ලීමට හිස පාත්කරමින් නායකත්වයෙන් ඉවත්වුණා.” ඇන්ජලෝ මැතිව්ස් කොන්දක් ඇති පුද්ගලයකු ලෙස නායකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය අගය කළ යුතුය. මැතිව්ස් එම ලිපියේ සඳහන් කරන පරිදි තේරීම් කමිටුව සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ, ආසියානු කුසලාන තරගාවලියේ පරාජය සම්බන්ධයෙන් එල්ලවන විරෝධයට ‘බිලි බෝයි’ බවට ඔහුව යොදාගෙන තිබේ. මැතිව්ස් ව්‍යංගයෙන් පවසන පරිදි මෙම පරාජයට තේරීම් කමිටුව සහ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහද හරි හරියට වගකිව යුතුය. නමුත් ඔවුහු වගකීමේ සියලු බර මැතිව්ස් පිට පටවා ඇඟ බේරාගත්හ.

ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට ආරම්භයේ සිටම අඛණ්ඩව චෝදනා එල්ල වුවද ඔවුන්ට සේවා දිගුවක්ද ලැබුණි. ඒ හේතුවෙන් කොතරම් විවේචන කළද වගේ වගක් නැත. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට දැන් තේරීම් කමිටුව පිළිබඳව තීරණයක් ගැනීමට කාලය පැමිණ තිබේ. එය තවදුරටත් පසුපසට දැමුවහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවද පසු පසට තල්ලුවීම වැළැක්විය නොහැක.

ආසියානු කුසලාන තරගාවලියේ  ‘මාර පරාජයෙන්’ පසුව ඩුබායි සිට ශ‍්‍රී ලංකාවට පැමිණි කණ්ඩායම නිවස්වලට යෑමට පෙර කොළඹ හෝටලයකට කැඳවූ ක‍්‍රීඩා අමාත්‍යවරයා ඔවුන්ට දෙහි කපා තිබේ. දෙහි කැපීම ප‍්‍රමාණවත් නොමැත ‘තොවිලයක්’ ද නැටිය යුතුය. 

“අපිට කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම්” යන ගීතයේ පරිදි තේරීම් කමිටුව කටයුතු කරයි. ආසියානු කුසලාන තරගාවලියට තේරීම් කමිටු සාමාජිකයා ලෙස එරික් උපශාන්ත මහතා සහභාගි වී සිටියේය. එම කමිටුවට සුළු හෝ ලජ්ජාවක් තිබේ නම් එසේ නැත්නම් හිරිකිතයක් තිබේ නම් අඩුම තරමින් ඔහු හෝ ඉල්ලා අස්විය යුතුය. එවැනි දෙයක් කිසිවිටක සිදු නොවේ. එරික් උපශාන්ත යනු තේරීම් කමිටුවේ යාවජීව සාමාජිකයෙකි. මැතිව්ස් ‘බිල්ලා’ කර සියලු දෙනා අත පිසදාගෙන හමාරය. 

චන්දික හතුරුසිංහ මහතා මහා කෙරුමෙකු යැයි පවසමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ කණ්ඩායම ගොඩදමයි යැයි විශ්වාසය මතය. නමුත් ඔහුගේ හැකියාවේ තරමද දැන් ප‍්‍රදර්ශනය වී හමාරය. ලෝක ශූර ශ‍්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග මහතා වරක පැවසුවේ හතුරුසිංහ යනු මැජික්කරුවකු නොවන බවය. මේ වනවිට එය යතාර්ථයක් වී තිබේ. මුහුණ බලා ක‍්‍රිකට් ගැසිය නොහැක. දස්කම් දෙස බලා අවස්ථාව දිය යුතුය. අද ලකුණු ගහයි හෙට ලකුණු ගහයි කියා. අවස්ථාව දීම වෘත්තිය ක‍්‍රිකට් ක‍්‍රීඩාව නොවේ. බංග්ලාදේශ පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සමඟ ඇතිකරගත් ගැටලුකාරී තත්ත්වයක් හතුරුසිංහ මහතාට ශ‍්‍රී ලංකාවට ඒමට මඟ පෑදූ බව ප‍්‍රසිද්ධ රහසකි.

“මම 2017 වසරේ සියලූම කණ්ඩායම නායකත්වයෙන් ඉවත් වනතෙක් වසර 5ක් නායකත්වයේ කටයුතු කරමින් ජයග‍්‍රහණ රැසක් ලබාදුන්නා. එහිදී එංගලන්තයට එරෙහිව තරගාවලියක් ජය ලැබුවා. ඕස්ටේ‍්‍රලියාව 3-0 කින් පරාජය කළා. 2014 වසරේ ආසියානු කුසලාන ශූරයන් බවට පත්වුණා.”

ඇන්ජලෝ මැතිව්ස් සිය ලිපියෙන් තමන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් කළ සේවයෙන් කීපයක් ආවර්ජනය කර තිබුණි. මැතිව්ස්ගේ දස්කම් හෑල්ලුවට ලක්කරමින් ඔහුගේ පන්දු යැවීම ඉතිහාසයට එක්වී ඇතැයි පවසන ගුණමකුවන්ට එය කණේ පහරකි. මැතිව්ස්ගේ නායකත්වයෙන් පසුගිය වසර දෙක තුළ ශ‍්‍රී ලංකාව සහභාගි වූ එකම එක්දින තරගාවලියක් හෝ ජයගෙන නැත. එය සත්‍යයකි. මැතිව්ස්ගේ නායකත්වයෙන් අවසන් වරට 2016 වසරේ ජනවාරි මස අයර්ලන්තයට එරෙහිව එක්දින තරගාවලිය ජය ලැබීය. 

එම ජයග‍්‍රහණයෙන් පසුව එම වසරේ ජූනි මස නවසීලන්තය හමුවේ 3-0 කින් සහ  ඕස්ටේ‍්‍රලියාව හමුවේ 4-1 කින් පරාජයට පත්විය. එම තරගාවලි දෙකෙන් පසුව මැතිව්ස් ආබාධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව නැවත පසුගිය වසරේ ජූනි මස එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිල මෙහෙයවීය. ශ‍්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවිය. ඉන්පසුව ශ‍්‍රී ලංකාවේදී පසුගිය වසරේ ජූලි මස පැවැති සිම්බාබ්වේ පිලට එරෙහිව එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පළමුවරට සිම්බාබ්වට පරාජය වීමෙන් පසුව මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්විය. මැතිව්ස් ඉවත්වීමෙන් පසුව උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා මාරුවෙන් මාරුවට කටයුතු කළහ. එහිදී ද කණ්ඩායම වැටුණා මිස හිස එසවූයේ නැත. 

චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයට පත්ව පළමු සංචාරය වූ මෙම වසරේ ජනවාරි මස පැවැති බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේදී මැතිව්ස් නැවතත් නායකත්වයට පත් කෙරිණි. එම පත්කිරීම පිළිබඳව දැනුවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් පැවසුවේ නව පුහුණුකරු ‘හතු අයියා’ ගේ (චන්දික හතුරුසිංහ) සහ තේරීම් කමිටුවේ ඉල්ලීම මත ලෝක කුසලාන තරගාවලියට කණඩායම සකස් කරගැනීමේ අරමුණ හේතුවෙන් නැවත නායකත්වය බාරගත් බවයි.

“හතු අයියත් එක්ක මම වැඩ කරලා තියෙනවා. අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙනවා” යැයි එහිදී මැතිව්ස් පැවසුවා මතකයේ තිබේ. වර්තමාන තත්ත්වය අනුව වඳින්න ගිය දේවාලය මැතිව්ස්ගේ හිසට කඩා වැටී ඇති බවක් ඇතැමෙකුට කිව හැකිය.

“ශ‍්‍රී ලංකා කණ්ඩාමට ඉදිරියට ක‍්‍රීඩා කිරීමට තවදුරටත් මහන්සි වී කටයුතු කරනවා. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මගේ උපරිමය ඉදිරියේදී ද දෙන්න බලාපොරොත්තු වෙනවා. තේරීම් කමිටුව සහ පුහුණුකරු මම කණ්ඩායමට සුදුසු නෑ කියලා තීරණය කළහොත් එක්දින සහ විස්සයි20 තරගවලින් සමුගැනීමට මම පසුබට වෙන්නේ නෑ” යැයි මැතිව්ස්ගේ ලිපියේ සඳහන්ව තිබුණි.

එම ලිපියෙන් ඇන්ජලෝ මැතිව්ස් තමන් පසුගිය දකුණු අප‍්‍රිකානු සංචාරයේ කණ්ඩායම් දෙකෙන්ම වැඩි ලකුණු රැස්කළ පිතිකරු බවද මතක් කර සිටියි. මැතිව්ස් මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 203 කට සහභාගි වී ලකුණු 5380 ක් රැස්කර සාමාන්‍ය 42 කට වඩා රඳවාගෙන තිබේ. මැතිව්ස්ට තවදුරටත් පිතිතරුවකු ලෙස ක‍්‍රීඩා කිරීමට කිසිදු බාධාවක් නොමැත. මැතිව්ස් එළඹෙන එංගලන්ත සංචාරයෙන් ඉවත්කිරීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මැතිව්ස් ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන්නේ නම් ඔහු ඉවත්කිරීම සාධාරණ නොවේ. 

මැතිව්ස් ආසියානු කුසලාන තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කළ ආකාරය දෙස බැලීමේදී නායකත්වයෙන් ඉවත්වීම හොඳ තීරණයකි. ඔහු 2014 කාලයේ දැක්වූ නායකත්වයේ හැකියාව හීනවී ඇති බවක් එහිදී ප‍්‍රදර්ශනය විය. එසේම එම පරාජයත් සමඟ මැතිව්ස් මානසිකව වැටී සිටි ආකාරයක්ද දැකගත හැකි විය. දිනේෂ් චන්දිමාල් මේ වනවිට සියලුම කණ්ඩායම්වල නායකයා ලෙස පත්කර තිබේ. චන්දිමාල් නැමැති ක‍්‍රීඩකයාට කණ්ඩායමේ සියලුම ක‍්‍රීඩකයන් ඇඳ බැඳ තබාගැනීමේ හැකියාව ඇති බව පිළිගැනීමයි. චන්දිමාල් මීට පෙර නායකත්ව දරමින් එම හැකියාව සහ උනන්දුව ප‍්‍රදර්ශනය කර තිබේ.  

‘හතු අයියලා’ සහ ‘ලැබී අයියලා’ චන්දිමාල්ට කටයුතු කිරීමට සකස් කරන පරිසරය ලෙස බලා සිටීම පමණක් අපට කළ හැකිය. 

 සටහන - යොහාන් භාසුර