ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මුදල් පසුගිය වසර දෙකකට ආසන්න කාලයේ පෙර නොවූවිරූ අයුරින් අවභාවිත වූ බව ප‍්‍රසිද්ධ රහසකි. එම මුදල් පිළිබඳව ස්වාධීන විගණනයක් කළහොත් කවුරුන් හසුවේද යන්න සැකසහිතය.
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයට දැන් පැවැත්වෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් ලැබිය යුතු ඩොලර් මිලියන 5.5ක් හෙවත් රුපියල් කෝටි 90කට අධික මුදලක් ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය අංශ ප‍්‍රධානියා වෙනත් ගිණුමකට බැර කිරීමට කළේයැයි කියන උත්සාහයක් පසුගියදා කරළියට පැමිණියේය. එම සිද්ධියෙන් පසුව පසුගිය වසර කීපයක ශ්‍රී ලංකා ක‍්‍රිකට් මුදල් පිළිබඳව විගණන පරීක්‍ෂණයක් පැවත්වීමට ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරී කමල් පත්මසිරි මහතා පියවර ගෙන තිබුණි.
මෙම වසරේ අගෝස්තු මස පැවැති දකුණු අප‍්‍රිකානු සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ‘සෝනි පික්චර්ස් නෙට්වර්ක්’ සමාගමෙන් ලැබීමට තිබූ ඩොලර් 165,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 280 ක මුදලක් මෙක්සිකානු බැංකු ගිණුමකට බැරකර ඇති බවට හෙළිකරගෙන ඇති බව වාර්තාවේ.
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැති කි‍්‍රකට් තරගාවලිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක් හෙවත් රුපියල් කෝටි 18 කට අධික මුදලක් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට හිමිවිය. මෙම මුදල කොටස් තුනකින් ලැබිය යුතුව තිබුණු අතර එහි පළමු කොටස් දෙක ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයට ලැබී තිබේ. කෙසේ වෙතත් එහි අවසන් කොටස වන ඩොලර් මිලියන 1.1 ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ගිණුම්වලට බැර වී නොමැති බව වාර්තා වේ. මෙය එක ගනුදෙනුවක් පමණක් වන අතර මෙවැනි දූෂිත ගනුදෙනු සිය ගණනක් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සිදුවූවාට සැක නැත. මෙවැනි ගනුදෙනු සම්බන්ධයෙන් තමන්ට වගකීම ගත නොහැකියැයි පවසමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස පත්වූ ජයන්ත ධර්මදාස මහතා තනතුරෙන් ඉල්ලා අස්විය.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරග සහ වෙනත් තරගවල ගුවන් විදුලි අයිතිය පසුගිය කාලයේ දූෂිත පුද්ගලයකු අතේ රැඳී තිබුණු බව කවුරුත් දන්නා කරුණකි. එම අයිතියේ ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත්කර වෙනත් පෞද්ගලික ගුවන්විදුලි ආයතනවලට පැවරීමේදී නියමිත වටිනාකම ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයට නොලැබුණු බව ඇතැමුන්ගේ මතයයි. ඒ හේතුවෙන් එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණ කිරීම නිසි බලධාරීයාගේ වගකීමකි.
තවද රූපවාහිනි සජීවි විකාශ සඳහා දිනකට රුපියල් ලක්‍ෂ 6ක් වැනි දැවැන්ත මුදල් සම්භාරයක් පසුගිය වසරක පමණ කාලයක් වියදම් කළ අතර ඒ පිළිබඳවද එම කොන්ත‍්‍රාත්තුව ලබාදුන් ආකාරයේ සිට විමර්ශනය කළ යුතුය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න සෙවීම ජාතික වගකීමකි.
I විශේෂ ලියුම්කරුවකු විසිනි