2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ජයසූරිය “කඩුල්ල” රැකගනියිද?

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

ශ‍්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්දන ඒකකයයේ නියමයන් උල්ලංඝණය කළේ යැයි චෝදනා එල්ල වීමෙන් සමස්ත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීහූ දැඩි විශ්මයට පත්ව සිටිති. මුදලට තරග පාවාදීම හෝ ඔට්ටුකරුවන්ට තොරතුරු සැපයූයේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්දන ඒකකය ක‍්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණවලට සනත් ජයසූරිය සහයෝගය නොදුන් බවට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීති මාලාවේ වගන්ති දෙකක් යටතේ චෝදනා එල්ල වී තිබේ.

එහි 2.4.6. වගන්තියට අනුව ‘‘සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්දන ඒකකය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම. දූෂණ මර්දන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණයකදී දූෂණ මර්දන ඒකකය ඉල්ලා සිටින ලේඛන හෝ නිවැරදි තොරතුරු සම්පූර්ණ වශයෙන් සැපයීමට අපොහොසත් වීම” යන පළමු චෝදනාව එල්ල කර තිබේ.

එහි 2.4.7. වගන්තියට අනුව ”අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්දන ඒකකය ක‍්‍රියාත්මක කරන පරීක්‍ෂණවලට බාධා කිරීම හෝ ප‍්‍රමාද කිරීම, ඒවායින් සැඟවී සිටීම, අදාළ ලේඛන නැතහොත් එවන් දූෂණ මර්දන නීති යටතේ පරීක්‍ෂණවලට අදාළ හෝ සාක්ෂි වශයෙන් ගතහැකි ලියකියවිලි වෙනස් කිරීම හෝ විනාශ කිරීම” ලෙස දෙවැනි චෝදනාව එල්ල වී තිබේ. 

මෙම චෝදනා දෙකට කරුණු ඉදිරිපත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පසුගිය සඳුදා සිට (15 වැනිදා) දින 14 ක කාලයක් ලබාදී තිබේ. ජයසූරිය එම දින 14 තුළ කරුණු නොදැක්වුවහොත් ඔහුට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කිසිදු දෙයකට සම්බන්ධ විය නොහැකි ලෙස තහනමක් පැනවීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

ජයසූරිය නිලධාරියකු ලෙස වර්තමාන ක‍්‍රිකට් පිටියේ ද කටයුතු කරන අතර ඔහු පසුගිය මස ඩුබායිහි ද පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තාක්‍ෂණ කමිටුවේ නිලධාරියෙක් ලෙස කටයුතු කළේය. සනත් ජයසූරිය ඊට පසුදින නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ කරුණු ඉදිරිපත් කිරීමට තමන්ගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවයි.
සනත් ජයසූරිය සිය නිවේදනයෙන් ස`දහන් කර තිබුණේ තමන්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයට තොරතුරු ලබානොදුන් බවට චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවයි. තවද ක‍්‍රීඩකයකු හැටියට තමන් සෑම විට ගෞරවාන්විතව කටයුතු කර ඇති බවත් ඉදිරියේදී ද ඒ ආකාරයටම කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබුණි. 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය පසුගිය වසරේ (2017) අගෝස්තු මස සනත් ජයසූරියගෙන් ප‍්‍රශ්න කර ඇති අතර එහිදී සනත් ප‍්‍රකාශ ලබාදී දුරකථන දෙකක් ද අයි.සී.සී. නිලධාරීන්ට බාරදී තිබේ. 

සනත් ජයසූරිය පෞද්ගලික හේතුවක් මත ඔහුගේ එක දුරකථනයක් පමණක් එම නිලධාරීන්ට බාරදීම ප‍්‍රක්ෂේප කර තිබේ. පසුගිය වසරේ (2017) ජූනි සහ ජූලි මස ඇතිවූ ඔහුට සම්බන්ධ පෞද්ගලික සිද්ධියක් හේතුවෙන් එම දුරකථනය බාරදීම ජයසූරිය ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. 

මෙම සිද්ධිය මීට වසරකට වැඩි කාලයකට පෙර ප‍්‍රශ්න කිරීමකට සම්බන්ධ වීම මෙහිදී කැපී පෙනේ. එහිදී ජයසූරියගෙන් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ඇතැම් සිද්ධීන් පිළිබඳව විමසා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකාවට මීට සති තුනකට පමණ පෙර පැමිණි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සනත්ගෙන් නැවත ප‍්‍රශ්න කර නොමැත.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් තිදෙනාගෙන් යුත් කණ්ඩායම පසුගිය සති කීපයේදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ 25 දෙනකු පමණ මුණගැසී ඇති අතර ඉන් බොහෝ දෙනකුගෙන් ප‍්‍රකාශ ද ලබාගෙන තිබේ. 

එම ප‍්‍රකාශ සටහන් කරගත් බොහෝ දෙනකුගෙන් ක‍්‍රිකට් ලොක්කෙක් පිළිබඳව විමසා ඇතත් මේ දක්වා එවැනි ලොක්කෙකුගෙන් ප‍්‍රකාශයක් ලබාගත් බවට දැනගන්නට නැත. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය මාසයකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටිමින් කටයුතු කරන අතර එහි ප‍්‍රතිඵල අද (21) ප‍්‍රසිද්ධ කිරීමට නියමිත බවට ද වාර්තා විය.

 සටහන: යොහාන් භාසුර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00