2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණයට නීති පොල්ලක් වැටෙයිද?

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සංවිධානය කිරීම සඳහා පසුගිය 12 වැනිදා පත්කළ නිලවරණ කමිටුව නීති විරෝධී යැයි ඇතැම්හු පවසති. කෙසේ වෙතත් මෙම සටහන තබන මොහොත දක්වා එවැනි විරෝධතාවක් ලිඛිතව ඉදිපත්කර නොතිබුණි. එහෙත් එවැනි විරෝධතාවක් යොමු වී ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මස 9 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අවදානමකට ලක්වේ.

එසේ වුවහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකාවේ එහි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමේ අවදානමක් ඇති අතර එසේ වුවහොත් කිසිදු කණ්ඩායමකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි විය නොහැක. ක‍්‍රීඩා නීතියේ නව සංශෝධනවලට අනුව එම ත‍්‍රිපුද්ගල කමිටුවට විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන චන්ද්‍රා ජයතිලක, අයි.එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන සුනිල් සිරිසේන යන මහත්වරු පත්වූහ. විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකුද වන ආර්.එම්.ආර්.ඩී. දිසානායක මහතා අතිරේක නිලධාරීන් ලෙස පත්වූහ.

ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් 1973 අංක 25 දරන ක‍්‍රීඩා නීතියේ නිලවරණ කමිටුව පත්කිරීමේදී ක‍්‍රීඩා සංගම් කාණ්ඩ ගතකිරීමට අදාළ රෙගුලාසි සංශෝධනය කිරීමේදී ඇති වී ඇති දෝෂයක් මෙම නව ගැටලුවට හේතු වී තිබේ. එහිදී සාමාජිකයන්, ක‍්‍රීඩා සමාජ සහ අනුබද්ධ ආයතන වර්ග කිරීමේදී 2.4. (අ) වගන්තිය යටතේ (අ) ශ්‍රේණිය, (‘ආ) ශ්‍රේණිය සහ (ඈ) ශ්‍රේණිය ලෙස ඒවා වර්ග කර ඇතත් පසුව දැක්වෙන විධිවිධානවල (අ) ශ්‍රේණිය සඳහා (ආ) ශ්‍රේණිය ලෙසත්  (ආ) ශ්‍රේණිය (ඊ) ශ්‍රේණිය ලෙසත් (ඈ) ශ්‍රේණිය වෙනසකින් තොරවත් සටහන්ව තිබේ.

මෙය බැලූ බැල්මටම අපරික්‍ෂාකාරී නීති සකස් කිරීමක ප‍්‍රතිඵලයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ක‍්‍රීඩාවට සම්බන්ධ බොහෝ නීති රීති ඇතුළත් ලේඛනවල මෙවැනි දෝෂ දැකිය හැකිය. නීතිරීති ඉංග‍්‍රීසි භාෂාවෙන් සකස්කර සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇති වී ඇති ව්‍යාකූල තත්ත්වයන් බොහෝමයක් දැකිය හැකිය. මෙහිදී සිදුවී ඇත්තේ ද එවැනිම දෙයකි. නීති සකස් කරන නිලධාරීන් මීට වඩා වගකීමෙන් වැඩකළේ නම් මෙවැනි දේ සිදුනොවේ. 
ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බුවනක හේරත් මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් මහ සභාව අවස්ථාවේදී පවසා ඇත්තේ එය ඉදිරියේදී නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය කල්දැමීමේ අදහසින්  ඕනෑම අයකුට මේ පිළිබඳව පියවර ගත හැකිය. එය එසේ වුවහොත් ක‍්‍රීඩා බලධාරීන් එයට වගකිව යුතුය.    

I වරකාගොඩ ගමගේ