නිරෝෂන් දික්වැල්ල - සඳුන් වීරක්කොඩි අනාගත ආයෝජන
ශ්‍රී ලංකා පිතිකරුවෝ කේප් ටවුන්හිදී පැවැති සිවුවැනි එක්දින තරගයේදී සාර්ථකත්වයට පත්වීම වඩාත් අවධානය යොමු විය යුතු තත්ත්වයකි. පළමු තරග තුනේදීම ලකුණු 200 සීමාවට හෝ පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලංකා පිල මෙහිදී ලකුණු 327ක් රැස් කළේය.
දකුණු අප‍්‍රිකානු පිල පළමු පන්දුවට පහර දෙමින් ලකුණු 367ක් රුස්කිරීමෙන් පසුව ලකුණු 40ක ජයක් ලැබුවද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නැගී සිටීම අවසන් තරගයේදී ආරක්‍ෂා වන ලෙස ලැබුණු පණිවුඩයක් ලෙස සැළකීම වඩාත් යෝග්‍යය ය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සාර්ථකත්වයට වඩාත් වැදගත්ම සාධකය බවට පත්වූයේ අපහසු උඩපන්දු හෝ ලබානොදීමය. පළමු තරග තුනේදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ලැබුණු අමාරු උඩ පන්දු රැකගැනීම විශේෂයෙන් ආරම්භක පිතිකරු සම්බන්ධතා බිඳ වැටීමට බලපෑවේය.
ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ලකුණු 139 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන්ගේ හදගැස්ම වැඩි වූ බව ශ්‍රී ලංකා ඉනිමේ මැද භාගය වනවිට දැකගත හැකිවිය.
උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 64ක සම්බන්ධතාව තවත් ඕවර 5 පමණ ඉදිරියට ගියේ නම් තරගයේ ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.
කුසල් අවස්ථානුකූලව දිගු ඉනිමක් ක‍්‍රීඩා කිරීම තවදුරටත් ප‍්‍රගුණ කළ යුතු බව එම ඉනිමේදීද ප‍්‍රදර්ශනය කළේය.
උපුල් තරංග ආරම්භක පිතිකරු ස්ථානයේ පමණක් තවදුරටත් සාර්ථක බව ප‍්‍රදර්ශනය කරමින් පන්දු 90 කදී හතරේ පහර 11 සහ හයේ පහර 7ක් සමගින් රැස්කළ ලකුණු 119 දකුණු අප‍්‍රිකානු පිලට හෙණ ගෙඩියක් පාත්වූවා වැනි විය.
නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලිය පුරා කැපී පෙනෙන චරිතය බවට පත්වූ අතර දික්වැල්ල පන්දු 47 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 58 ක් රැස් කළේය.
මෙහිදී නවක පිතිකරු සඳුන් වීරක්කොඩිගේ ඉනිමද අමතක කළ නොහැකිය. සඳුන් එම ඉනිමේදී ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන් හමුවේ පහර දුන් ආකාරය ප‍්‍රශංසනීය විය. එහිදී සඳුන් තමන් පහර දෙන්නේ දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන්ට බව අමතක වූවාද යන්න ඔහුගෙන්ම දැනගත යුතුය. සඳුන් පන්දු 51 කින් රැස්කළ ලකුණු 58ට දැවැන්ත හයේ පහරක් ද ඇතුළත් විය. එම හයේ පහරේ විස්සයි20 තරගයක ජවය රැදී තිබුණි.
I සටහන: භාසුර