පසුගිය දවසක දියවන්නා කවුන්සිලේ ලොකු පොඩි මැම්බර් මහත්තුරු 12 දෙනෙක් පාර්ලිමේන්තු ලිෆ්ට් එකේ හිරවෙලා ලොකු ජංජාලයක් වුණා. ඉතින් මේ කතාව කවුන්සිලේ වගේම වෙනත් දේශපාලන සාකච්ඡාවලත් රසවත් මාතෘකාවක් වෙලා පැතිරිලා යනකොට හිටපු ලොකු තැන විජේරාම ගෙදරදි මේ වගේම තවත් ලිෆ්ට් රහසක් හෙළි කළා... උන්නැහේ කියන විදියට පසුගිය කාලෙ දවසක උන්නැහෙත් ජී.එල් මහාචාර්යතුමත්, උන්නැහේගෙ දොස්තර මහත්තයත් ආරක්ෂක නිලධාරී කස්ටියකුත් පිටරටක සුපිරි රෝහලක සුපිරි ලිෆ්ට් එකක විනාඩි 45ක් හිරවෙලා හිටියලු...
අන්තිමට මේ අයට හුස්මගන්න බැරිවෙයි කියල බිය වූ රෝහල් බලධාරීන් ලිෆ්ට් එකට ඔක්සිජන් පවා ලබාදුන්නෙ හොඳටම බියට පත්වෙලාලු. ඒ පාර ඔය කියන රෝහල වටකරල ආරක්ෂක අංශ රඳවල, හදිසි අනතුරු සේවාවන්, ඇම්බියුලන්ස් ගෙන්වල, අන්තිමේ බැරිම තැන ගිනි නිවන හමුදාවත් එතෙන්ට කැඳෙව්වලු...
ඒත් දන්න කියන මොන සූත්තරේ දැම්මත් ලිෆ්ට් එකේ දොරවල් ඇරැණෙ නැති හින්දා... ලෝක අමාරැවක වැටුණු රෝහලේ බලධාරීන් ඒ පළාතෙ හිටපු ලිෆ්ට් ගැන විශේෂඥයොත් ගෙන්නුව. ඊට පස්සෙ අමාරැවෙන් ලිෆ්ට් එක රෝහලේ ඉහළ මහලෙ ඉඳල පහළම මාලයට සීරැවෙන් බස්සගත්තලු... ඊළඟට වානේ තහඩු කපන යන්ත්‍ර සූත්‍ර ගෙනල්ල %ලිෆ්ට්^ එකේ දොර කඩල යකඩ තහඩු කැපුව... ඒ වෙනකොට මෙයාල ලිෆ්ට් එකේ හිරවෙලා විනාඩි 45කට වැඩියි... එහෙම ලොකු ජරමරයක් කරල ඊට පස්සෙ මහින්ද උන්නැහේලා, ජී.එල්.ල එළියට ගත්තා...
හැබැයි මේ සිද්ධිය අදාළ රටේ රෝහල් බලධාරීන් මෙන්ම හිටපු ලොකු තැන සහ ජී.එල්. ඇතුළු පිරිස ලොකු රහසක් හැටියට තියාගත්ත නිසා කතාව පත්තු වුණේ නැහැ. මේක වුණ දවසවත්, වුණ රටවත් හිටපු ලොකු තැන අදටත් හෙළිකරන්න සතුටු නැහැ. එයාට මේ කතාව මතක් වුණේ දියවන්නාවෙ කස්ටිය ලිෆ්ට් එකේ හිරවෙලා ඒකට ලොකු ඝෝෂාවක් කරන්න පටන්ගත්තට පස්සෙයි.