දකුණෙ දේශපාලන පවුලක තරමක රැඩිකල් වැඩ කරපු තරුණයෙක් හිටිය..
උන්නැහේල කොච්චර දේශපානේට සම්බන්ධ ද කිව්වොත් මෙයා ඉස්කෝලෙ ගියෙත් ශ්‍රාවස්තියෙ (මන්ත්‍රි නිල නිවාසෙ) ඉඳල.. පාසල් අධ්‍යාපනය අවසාන වුණාට පස්සෙ එයාට ඕන වුණා හොඳ පඩි ලැබෙන රස්සාවකට යන්න.. ඒ රස්සාව හැටියට තෝරාගත්තේ ටී ටේස්ටර් රස්සාව ඒ කාලෙ ටී ටේස්ටර් ජොබ් එකට හොඳ පඩියක් ලැබුණා.. මේ තරුණයගෙ පියා ඇතුළු පවුලේ කිහිපදෙනෙක්ම මැතිසබේ සේවය කළා. හැබැයි ඒ කාලේ ආණ්ඩුව කළේ අලි පාටියේ උදවිය. තරුණයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.. නමුත් මැතිසබා දේශපාලනයේදී පක්ෂය වගේම යාලුකමත් බලවත්. ඒ නිසා දවසක් තරුණයා සහ එයාගේ මන්ත්‍රි පියා මැතිසබේ මහලේකම් පදවිය ඒ කාලෙ දැරූ දකුණෙන්ම ආපු සෑම් විජේසිංහ උන්නැහේ මුණගැහිල මේ වැඩේ ගැන කතා කළා..
එතකොට සෑම් උන්නැහේ කිව්වෙ අයියෝ ඕක සුළු දෙයක් ජේ.ආර්.නේ විෂය භාර ඇමැති අපි එයාට කියමු.. ජේ.ආර්. වැඩේ කරලා දේවි.. කියලයි.
ඒ අනුව මේ තරුණයා සකස් කරපු අයැදුම් පත්තරේ අරගෙන ජේ.ආර්. උන්නැහේ හමුවුණේ මැතිසබා මහලේකම්ගෙ කන්තෝරුවෙදීමයි...
ජේ.ආර්. මෙයාලගෙ යාළුකමට වැඩේ කරල දෙන්න පොරොන්දු වුණා.. අයැදුම් පත්තරේ මහ ලේකම්තුමා ළඟ තියන්න මම අද හෙටම ඒක අරන් වැඩේ කරන්නම්... කියලත් කිව්වා... ඒ අනුව අයැදුම් පත්තරේ මහ ලේකම් විජේසිංහ උන්නැහේගෙ අතට දුන්න තරුණයා ගෙදර ගියේ ළඟදීම ටී ටේස්ටර් රස්සාවට යන්න හිතාගෙන...
ඒත් එයා සතියක් දෙකක් මාසයක් - මාස තුනක් බලන් හිටිය වැඩේ කෙරැණේ නැහැ. දේශපාලනේ හින්ද ජේ.ආර්. පොරොන්දුව ඉටුකළේ නැහැ කියල තරුණයත් තරුණයගෙ පවුලෙ අයත් ජේ.ආර්. එක්ක නොරොක් වුණා.
ඊට පස්සෙ වෙනත් රස්සාවකට ගිය තරැණයා සෑම් උන්හැහෙ නෑයෙක් වෙලත් ජේ.ආර්.ගෙන් වැඩේ කරල දෙන්න මහන්සි වුණේ නැති එකටත් අප්සෙට් පිටයි හිටියෙ.
ඔන්න ඔහොම ටික කලක් ඉන්නකොට මේ තරැණයගෙ මන්ත්‍රි පියා අභාවප්‍රාප්ත වෙලා තරුණය ඒ ආසනෙ මන්ත්‍රි හැටියට පත්වුණා...
තරැණයා පාර්ලිමේන්තු මන්ත්‍රි හැටියට කවුන්සිලේට ඇවිල්ල දවස් දෙක තුනකින් කවුන්සිලේ මහ ලේකම් පදවිය දරමින් සිටි සෑම් විජේසිංහ උන්නැහේගෙන් තරැණ මන්ත්‍රිට පණිවුඩයක් ආව පැමිණ හමුවන්න කියල හිතේ කහට තිබුණත් මන්ත්‍රිතුමා මහලේකම් කන්තෝරැවට ගිහිල්ල එයා හමුවුණා..
තරැණ මන්ත්‍රි ආපු ගමන්ම ලිපි ගොනුවක් ඇදලගත්ත මහලේකම් සෑම්... මෙන්න මේක තියාගන්න කියල කොළයක් මේ තරැණ මන්ත්‍රි අතට දුන්න.. එයා ඒක අතට අරගෙන බලනකොට දැක්කෙ තමන් කලකට පෙර “ටී ටේස්ටර්* රස්සාව ගන්න ජේ.ආර්ට දෙන්න හදාපු අයැදුම් පත්තරේ තමයි මේ කියලා...
ඒක දැකපු මන්ත්‍රිතුමාට හිනා ගියා සෑම් විජේසිංහ උන්නැහේටත් හිනා ගියා... ඊට පස්සෙ මහලේකම් සෑම් මෙහෙම කිව්වා. “ඔයාට ටී. ටේස්ටර් ජොබ් එක දුන්නෙ නැහැ කියල... ඕගොල්ලො ජේ.ආර්ට බැන්නලු නේද? අනේ බණින්න එපා එයාගෙ අතේ වරදක් නැහැ සෑම් කිව්ව...
ඒත් මට ජේ.ආර්. රස්සාව දුන්නෙ නැහැනේ... මන්ත්‍රී තරුණයා අමනාපෙන් වගේ කිව්වා...
ජේ.ආර්. කොහොමද රස්සාව දෙන්නෙ මම එයාට ඔය ඇප්ලිකේෂන් එක දුන්නෙ නැහැනේ. ඕක ඔයා දුන්න දවසෙ ඉඳල තිබුණේ මේ ෆයිල් එකේ... තමන්ගෙ ඥාති මහලේකම් එහෙම කිව්වම මන්ත්‍රිතුමාට පුදුමයි.
ඇයි අංකල් (මන්ත්‍රීවරයා මහලේකම් ඇමතුවේ එසේය.) ඒක නුදුන්නෙ... මන්ත්‍රි ඇහුව.
යාළුවා මම ඔයාට වඩා දුර දකින මිනිහෙක්. ඔයා පුංචි කාලෙ ඉඳල අපි දන්නවනේ... තමුන්ට හිමි රස්සාව ටී ටේස්ටර් වැඩේ නෙවෙයි.. පවුලෙන් උරැම වෙච්ච දේශපාලනයයි.. ඒක දන්න නිසයි ඔයාගෙ ටී. ටේස්ටර් ඇප්ලිකේෂන් එක ජේ.ආර්.ට නුදුන්නෙ... මමයි ඒක කළේ... ජේ.ආර්. වැරදි නැහැ... ඉතින් දැන් කොහොමද වැඩේ ටී. ටේස්ටර් ජොබ් එකද මන්ත්‍රිකමද වඩා හොඳ... සෑම් විජේසිංහ උන්නැහේ තරුණයගෙන් ප්‍රශ්න කළා..
දැන් මේ රස්සාව හරියට කරගෙන ඉන්න... ඔයාට කවද හරි මේ රටේ තැනකට එන්න පුළුවනි. ඒක අද මම කිව්වය කියල මතක තියාගන්න...
එහෙම කිව්ව සෑම් විජේසිංහ උන්නැහේ කවුන්සිලේ ඕනම දේකදි උදව්වට තමන් ඉන්න බව කියල තරැණ මන්ත්‍රිතුමා දිරිමත් කළා.
එදා ටී ටේස්ටර් ජොබ් එක පස්සේ ගිය මන්ත්‍රිතුමා පස්සේ කාලේ රටේ ලොකුම තැනට ආව ඒ තමයි මහින්ද රාජපක්ෂ...