රටේ රාජ්‍ය නායකයාගෙන් අඩියක් ගහන්න සල්ලි ණයට ඉල්ල ගත්ත මන්තිරි සයිස් මහත්තයෙක් මැතිසබේ හිටියයි කීවොත් ඔබ පිළිගන්න එකක් නැහැ. ඒත් කතාව ඇත්ත. මේ කතාව අප සමඟ කීවෙත් මේ රටේ ඉන්න ප්‍රබල දේශපාලන නායකයෙක්.
මුලින්ම කියන්න ඕන මේ කියන කාලේ රටේ රාජ්‍ය නායකය අගමැති. අපි කියන අගමැතිතුමා අලි පාටියේ පතාක යෝධයෙක්. බොහොම ගරු කටයුතු වැදගත් මහත්තයෙක් හැටියටත් බත් දුන් පියා ලෙසත් අදටත් සැලකුම් ලබනවා. උන්නැහේගෙන් ණයට සල්ලි ගත්ත මන්තිරිතුමා නිල් පාට විපක්ෂයේ ඈත රුහුණෙ වලව්වකින් ආපු ප්‍රබල ශ්‍රී ලාංකාකාරයෙක් කීවොත් නිවැරදියි. අවුරුදු තිහක් කිට්ටුව මැතිසබේ හිටපු මුන්නැහේ අලි පාටියේ අගමැතිතුමාගෙ හොඳ යාලුවෙක්. මේ මන්තිරිතුමා මධුවිතට සෑහෙන්න ඇබ්බැහිවෙලා හිටපු සුන්දර මනුස්සයෙක්.
සාමාන්‍යයෙන් විපක්ෂයෙවත් ආණ්ඩුවෙවත් මන්තිරි සයිස් උන්නැහේල අගමැතිතුමා අහලට යන්නෙත් එහෙමත් වෙලාවකයි. නමුත් අපේ විපක්ෂ මන්තිරිතුමා ජ්‍යෙෂ්ඨයෙක් නිසා තමන්ට වුවමනාවක් වුණාම අගමැතිතුමා ඉන්න කිට්ටුවට ගිහිල්ල අහල පහළ ගැවසෙන්න ගන්නවා. ඊට පස්සේ අගමැතිතුමා සහ මන්තිරිතුමා අතර ඇතිවෙන්නෙ මෙන්න මේ වගේ දෙබසක්.
ආ... අයිෂෙ ලකී... (මන්ත්‍රිතුමාගේ නම කියයි) කොහොමද? මොකද මේ පැත්තෙ...? අගමැතිතුමා අහනවා.
නෑ සර් මේ නිකම් ආව...* මන්ත්‍රිතුමා උත්තර දෙනවා.
නෑ.. නෑ... නිකම් වෙන්න බැහැ. මුකුත් වුවමනාවක් ද? ආයෙමත් අගමැතිතුමා අහනවා.
දන්නැත්ද සර්.. මේ දවස්වල හරිම අමාරුයි අප්පා.. වියහියදම් අහස උසට...
මන්ත්‍රිතුමා පොඩි ඇමක් දානවා.. අගමැතිතුමාට කාරණාව වැටහෙනවා... මොකද ඉතින් මගෙන් කෙරෙන්න ඕන? අගමැතිතුමා ආයෙම ප්‍රශ්න කරනවා.
නෑ සර්.. අපිට හැමෝගෙන්ම ඉල්ලන්නත් බැහැනේ.. මට මේ හදිසි වැඩකට පොඩි අතමාරුවක් කරගන්න පුළුවන් ද කියලයි බැලුවෙ... මන්තිරිතුමා කතන්දරේ එළියට අදිනවා.
ආ... ඒකද? ප්‍රශ්නය කියපු අගමැතිතුමා තමන්ගෙ සාක්කුවට අතදානව. විශේෂයෙන් කියන්න ඕන අපි මේ කියන අගමැතිතුමා කිසිම දවසක සල්ලි දාන්න පර්ස් පාවිච්චි කළේ නැහැ. උන්නැහේ තමන්ගේ සල්ලි නිකම්ම සාක්කුවෙ ඔබාගෙනයි ආවෙ... උන්නැහේට කාට හරි සල්ලි දෙන්න ඕන වුණොත් කෙළින්ම සල්ලි කොළ සාක්කුවෙන් ඇදලා දෙන එකයි ක්‍රමය.
මන්තිරිතුමාගෙ ඉල්ලීම ඉටුකරන්න සාක්කුවට අතදාන අගමැතිතුමා අතට අහුවෙන මුදලක් ඒ කියන්නෙ රුපියල් දෙතුන් සීයක් (මේ කියන කාලේ ඒක විශාල ගණනක්) අරගෙන මන්තිරිතුමා අතේ තියනවා. උන්නැහේ ඒක අරන් අනේක වාරයක් ස්තුති කරල කෙළින්ම යන්නෙ ක්ලබ් එකටලු.. උන්නැහේගෙ වැඩේට අගමැතිතුමා දුන්න ගණන හොඳටෝම වැඩියි.
මේකෙ රසවත්ම කෑල්ල තමයි අගමැතිතුමාගෙන් මෙහෙම ණය ගන්න මන්තිරිතුමා කවදාවත්ම ආපහු ඒ ණය නොගෙවීම. එච්චර විතරක් නොවේ. මේ හිතහොඳ අගමැතිතුමත් මාස කිහිපයකට වරක් මේ විදයට තමන්ගෙන් ණය ඉල්ලන මන්තිරිතුමාට ණය දීම සිද්ධ කළා. එතුමාට තමන් දුන්න ණය මතකත් නැහැ. මන්තිරිතුමාට ගන්න ණය මතකත් නැහැ. දෙන්න වේදිකාවේදි ගහ මරාගන්න පක්ෂ දෙකක දෙන්නෙක් වීමත් විශේෂයක්.