2019 ජුනි 15 වන සෙනසුරාදා

යම්දෝ නොයම්දෝ!

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 522

උතුරු සන්ධානේ දියවන්නා කවුන්සිල් බැම්බර් මහත්තයෙක් දේශපාලන කටයුතුවලින් අයින් වෙන්න ඉඩ තියෙන බව එයාගේ පවුලේ ආරංචි මාර්ග කියනවා...

උන්නැහේගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් නොවුණට පසුගිය කාලේ වැඩ කළේ ජ්‍යෙෂ්ඨයෙක් වගෙයි.

උන්නැහේගේ ක්‍රියා කලාපය ගැන දකුණේ අය ළඟ මොන මත තිබුණත් එයා සටන් කළේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ නිසා ඒ සටනේ වැදගත්කමකුත් තිබුණා.

කොහොමහරි උන්නැහේ පසුගිය කාලෙ විවෘත වේදිකාවේ කිව්වෙ උතුරෙ අර්බුදේට දේශපාලන විසඳුමක්. අලුත් ආණ්ඩුක්‍රම පනතත් මේ ආණ්ඩු කාලේ සම්මත කරගන්න බැරි වුණොත් දේශපාලනෙන් අයින් වෙනවය කියලයි...

මේ ගැන මුකුත් සිද්ධ නොවෙද්දී උතුරු සන්ධානේ ඇතුළෙත් මේ නීති විශාරද මන්තිරි තැනට පොඩි පොඩි ගාලගෝට්ටි තියෙනවලු. ඒ නිසාම එයාගෙ ගෙදර උදවිය දේශපාලනෙන් සමුගන්න කියලා ලොකු බලපෑමක් කරන්න පටන් අරන් කියලා ආරංචියි...

කොහොමහරි පවතින අර්බුදකාරී දේශපාලන වටපිටාව නිසා උන්නැහේ දැන් යම්දෝ නොයම්දෝ කියලා හිතමින් වැට උඩ ඉන්න බවයි උතුරු සන්ධානෙ පැත්තෙන් ආරංචි වෙන්නේ.

කලකට පෙර උතුරු සන්ධානේ නායකත්වයට පවා නම් කළ මුන්නැහේ ගත්ත තීරණය ළඟදීම ප්‍රකාශ වෙයිලු.