2019 ජුනි 15 වන සෙනසුරාදා

ඇත්ත කතාව?

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 1129

කාකි සූට් දෙපාර්තමේන්තුවේ උසස් පදවියක් දරලා දැන් පොඩ්ඩක් පැත්තකට කරලා ඉන්න පූජනීය වැඩවලට නම් දැරූ මහත්තයට ආණ්ඩුවේ ආරස්සක කවුන්සිලේ රැස්වීම්වලට එන්න එපා කියලා ඉහළ උදවිය කීම ගැන නොයෙක් කතා ප්‍රචාරය වුණා...

පොලිස් ලොක්කා නැති ආරස්සක කවුන්සිලේ මනමාලයා නැති මගුලක් වගේ යැයි සමහරු කිව්වා.

ඉතින් මේ කතාව ප්‍රචාරය කළ උදවිය ඒකට ප්‍රවෘත්තිමය වටිනාකමක් දුන්නේ මේ තීන්දුව රටේ ලොකුම පුටුවක ඉන්න කෙනෙක්ගේ ගිණුමට බැර කරලා එයාට අපහසුතාවයට පත් කරන්න කියලා ඉහළම මන්දිරෙන් ද කියැවුණා...

කොහොමහරි දවසක් රටේ ලොකු තැන එක්ක එයාගේ පාටියෙම මන්තිරිවරැ පිරිසක් කතා කර කර ඉදිද්දි එක ජ්‍යෙෂ්ඨයෙක් ඇහුවා අහවලා ඇයි ආරස්සක කවුන්සිලෙන් කපාහැරියේ කියලා..

ඊටපස්සේ මහ හඬින් හිනාවුණ ලොකු මහත්තයා ඒකට බලපාපු හේතුව පැහැදිලි කළා...

ඔය මනුස්සයා ආරස්සක මණ්ඩලේට ආපු වෙලේ ඉඳලා ටෙලිෆෝන් එකත් එක්ක සෙල්ලම් කරනවා මිසක් අපි කරන කතාබහට හරියට කන් දෙන්නෙ නැති වග මට පෙනුණා... එයාගෙ ටෙලිෆෝන් සෙල්ලම නවතීවි කියලා මම ටික දවසක් බලන් හිටියා. ඒත් ඒක එන්න එන්න වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. ඒ විදිහට කෙනෙක් රටේ ප්‍රධානම ආරක්ෂක මීටිමට ඇවිත් වැඩක් නැති නිසා මම එයාව නැවැත්තුවා. ඒකයි ඇත්ත කතාව* කියමින් ලොකු මහත්තයා කතන්දරේ අවසන් කළා.