ඡන්දය පටන් ගන්නත් කලින් මනාප සටන ඇවිල්ලා. ප්රබල චරිත ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්න ලොකු දිස්ත්රික්කවල මේ සටන උග්රයි. මේ මනාප සටනේ අමුතුම කතාවක් අපිට වාර්තා වෙන්නේ වයඹ පළාතෙන්. වයඹ පළාතේ ලොකුම දිස්ත්රික්කයෙන්. රටේ දෙවැනි මහත්තයත් එහෙන් ඡන්දයට ඉදිරිපත් වෙනවා. එයා රටේ හිටපු ලොක්කා නිසා එයාලගේ පක්ෂයේ පළාතේ හුඟ දෙනෙක් උන්නැහෙට මනාපයක් දෙන්න සූදානමින් ඉන්නවා කියලයි කියන්නෙ.
එහෙම වුණත් ඔය දිස්ත්රික්කයට අත පාටියෙන් ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්න දෙතුන් දෙනෙක් හිටපු ලොකු තැනට ලැබෙන්න යන මනාපවලට ගේමක් ගහන්න ගිහිල්ලා අතේ මාට්ටු වෙලාලු. පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මේ කට්ටිය තමන්ගේ හිතවතුන් හමුවෙලා රහසින් කියමින් යනවලු “එතුමාට දිස්ත්රික්කයේ හැමතැනින්ම මනාප හම්බවෙනවා. ඒ නිසා එයාට එපා. ඔයාලගේ මනාපය අපිට දෙන්න.” කියලා.
මේ විදිහට අත පාටියේ සමහරු රටේ දෙවැනියගේ මනාපය බිලිබාගන්න ගියපු තැන්වල හිටපු අයට මේ කතාව පත්තු කරලා දැන් රටේ දෙවැනියා විතරක් නෙවෙයි පළවෙනියත් දන්නවා කියලයි ආරංචිය. ඒ නිසා මේ මනාප ගේම ගහපු අය නිතර නිතර රටේ දෙවැනියා හම්බවෙලා සුහදතාවය ප්රකාශ කරනවලු. රටේ දෙවැනියත් මුකුත් දන්නෙ නෑ වගේ තමන්ගේ මනාපයට ගේම ගහන්න ගිය අයට සුහදව කතා කරනවලු. කොහොම නමුත් වැඩේ කරන්න ගිය අය බයවෙලා ඉන්නේ මේ වැඩේ පත්තුවීමත් එක්ක ඊළඟ ආණ්ඩුවේ තනතුරු බෙදද්දී මොන ජරමරයක් සිදුවෙයිද කියලලු.