2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

දියවන්නා කවුන්සිලේට ගමන බස් එකේ..

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 837

දියවන්නා කවුන්සිලේට පත්වෙලා ඉන්න මන්ත්‍රී සයිස් තුන්දෙනෙක් දිනපතා කවුන්සිල් රැස්වීමට එන්නෙ බස් එකේලු. ඒ උන්නැහේලට වාහන නැති නිසා කියලයි කියැවෙන්නෙ....

කෑගලු පළාතෙ වැල්ලකට සම්බන්ධ ආයතනෙකින් කවුසිලේට පත්වුණ කෙනෙක් පාරේ බස් එකෙන් කොළඹට ඇවිත් ත්‍රිරෝද රථයකින් කවුන්සිලේ ඉස්සරහට එනවලු... ත්‍රීවීල් කවුන්සිලේට යන්න දෙන්නෙ නැති නිසා එතැන ඉඳලා මන්ත්‍රී යාළුවෙකුගෙ වාහනේකට සැට්වෙලා ඇතුළට යනවලු...

එයා වගේම වෙනත් අයගේ වාහනවලින් කවුන්සිලේට එන අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් නුවර, අනික අනුරාධපුරේලු... මේ අයට තමන්ගෙ නිල ගෙවල් තවමත් ලැබිල නැතිලු. ඒ වෙනුවට රජයේ නේවාසිකාගාරයක් දුන්නට... ඒකෙ උයන පිහන පහසුකම් නැති නිසා උන්නැහේල එතැන නවතින්නත් සතුටක් නැහැ කියලයි කියන්නෙ....

මේ ප්‍රශ්නය දැන් ආණ්ඩුවෙ ඉහළම තැන්වලටත් පැමිණිලි කරළලු... ඈත ගම්බද දුප්පත් ජනතාව තෝරාපත් කරගත් මහජන නියෝජිතයන්ට මෙහෙම සැලකීම ගැන දියවන්නා කවුන්සිලේ ලොබියෙත් නිතර කතාවෙනව අපට ඇහුණා.