මේ කතාව අපට ඇහුණෙ පාර්ලිමේන්තු ලොබියෙන්. පක්ෂ භේදයක් නැතුව දෙපැත්තෙම උදවිය සිංහල අවුරුද්දෙන් පස්සෙ රැස්වුණ මැතිසබාවෙ ලොබියෙ ආගිය කතා කිය කිය ඉන්නකොටයි එක්තරා මන්ත්රී කෙනෙක් තමන්ගෙ හඬ බාල කරල කතන්දරේ කියන්න පටන් ගත්තෙ. හොඳට වටපිට බල බල උන්නැහේ කිව්ව කතාව මේකයි...
පසුගියදාක පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරක් දරන එක්තරා මහජන නියෝජිතයෙක් එක්තරා උත්සවයක් සංවිධානය කරල තිබුණලු ලොකු හෝටලේක...
ඒකට ආරාධනා ලැබුවෙ මේ දේශපාලකතුමාට කිට්ටු සබඳතා ඇති මැති ඇමැති හිතමිතුරු සමීපතමයන් පිරිසක්...
ඉතින් භෝජන සංග්රහයකුත් එක්ක තිබුණු මේ උත්සවයට පැමිණි හැමෝම හිස් අතින් ආවේ නැහැ. එයාල මොනව හරි තෑග්ගක් අරගෙන තමයි ආවෙ.... ඉතින් තෑගිබෝග හුවමාරු කරගෙන උත්සවේ බොහොම ප්රීතිමත් ආකාරයට පැවැත්තුව.
උත්සවේ අවසානෙ අමුත්තො පිටවෙලා ගියා. ඊටපස්සෙ එයාලට ලැබිල තිබුණ තෑගිබෝග කන්දරාව දිහා බලල සිරිත් පරිදි ලැබිල තිබුණ තෑගිපෙට්ටි විවෘත කර කර බලන්න අපේ දේශපාලකතුමයි එතුමගෙ නෝන මහත්තයයි පටන්ගත්තලු...
ඉතාම සතුටින් තෑගි පෙට්ටි විවෘත කරමින් ගිය මෙතුමා එක්තරා තෑගි පෙට්ටියක් විවෘත කරල බැලුවට පස්සේ එකපාරට මාරය ආවේශවෙලා තෑගි පෙට්ටිය පොළොව ගහල ලොකු අඩව්වක් ඇල්ලුව බවයි ආරංචි... උන්නැහේට ආපු කේන්තිය නිසා සෑහෙන වේලාවක් බැණ බැණ හිටියෙ මේ නොසන්ඩාල තෑග්ග දුන්න මිනිහටලු... හැබැයි දුන්න කෙනෙක්ගෙ නමක් ගමක් තෑග්ගෙ තිබිල නැහැ...
ඉතින් මෙහෙම ලොකු ගෝරියකට හේතුවුණ තෑග්ග මොකද්ද කියල මේ කතාව කිව්ව මන්ත්රී තැනගෙන් එයා වටේ ඉඳන් කතාව රස විඳපු අය ඇහුව. ඒකට කතාව කියූ මන්ත්රීතුමා දුන්නෙ මෙහෙම උත්තරයක්.
“අපෝ ඒකනම් කියන්න බැහැ. මේ මන්ත්රී නෝනලත් ඉඳෙද්දී...” ඒත් හැමෝම මේ අපූරු තෑග්ග මොකද්ද කියල බල කර කර අහන්න ගත්ත. ඊටපස්සෙ කතාව කිව්ව මන්ත්රීතුමා දස අතේ කල්පනා කරල මෙහෙම කිව්ව.
“මිනිස්සුන්ට වැදගත්වෙන එක්තරා ශරීර අංගයක අනුරුවක් කියල හිතන්නකෝ...” එයා කියල යන්න හැදුව.
ඉතින් අනේ කාටද ඔය අපූරු තෑග්ග ලැබුණෙ...
අපෝ ඒක නම් කියන්නෙම නැහැ.... මන්ත්රීතුමා කිව්ව.
ඊටපස්සෙ මන්ත්රීවරු කිව්ව ආණ්ඩුවෙද විපක්ෂයෙද කියලවත් කියන්නකො කියල. දෙක... දෙක... කියපු මන්ත්රීතුමා දුවල ගිහිල්ල සභාවෙ වාඩිවුණා. ඒත් මේ කතාව ලියන අපිවත් දන්නෙ නැහැ ඇත්තටම ඔය කියන තෑග්ග ලැබුණෙ කාටද කියල. එතන හිටපු අය සැකේට එක එක්කෙනාගෙ නම් කිව්ව. හැබැයි කතාව කිව්ව විපක්ෂ මන්ත්රීතුමාට ඒ ගැන ඉවක් තිබුණා. නමුත් එයා නෙවෙයි කටක් හෙල්ලුවේ....