2022 ජනවාරි 29 වන සෙනසුරාදා

තනියම කාල මල කෙළියයි

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 718

ඔසුවලට වගකියන පුංචි මහතැන් පොරකගේ අමුතුම කතාවක්ලු මේක. මෙයා ගාව හිටිය දකුණු අත වගේ ලේකම් කෙනෙක් පසුගියදා බෙල්ලෙන් අල්ලලා එළියට දාලලු. ඒ ඇස් වහලා කළ වංචාවක් නිසා කියලයි දැනගන්න තියෙන්නේ. වංචාවට දූෂණයට විරුද්ධව එහෙම කෙනෙක්වත් මේ රටේ ඉන්න එකත් ලොකු දෙයක් කියලා මේ ටික කියවපු කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක නෙමෙයිලු මේකට ඇත්ත හේතුව.

කැම්පස් යන කාලෙ ඉඳල හැමදාම එක්ව එක බත්පත බෙදාගෙන කාපු මේ දෙන්නාගෙන් ලේකම් පට්ටම දැරෑ කෙනා ලොක්කට හොරෙන් තනියම බත්පතක් කාපු නිසාලු ප්‍රශ්නය. හැමදාම බෙදාගෙන කාල එකට හිටිය කෙනා තනියම බදාගෙන හොරෙන් කන්න ගියාම කාටද තරහ නොයන්නේ. මේ නිසා බෙල්ලෙන්ම අල්ලලා එළියට දාලා කියලයි ආරංචිය. හැබැයි ඉතින් හේතුව එළියට කියන්න බැරි නිසා උහුලගෙන ඉන්නවලු දෙන්නම ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ. ඒ අමාත්‍යංශයෙ කස්ටිය නම් කියන්නෙ දැන් ඒ දෙන්නම තිත්ත බෙහෙත් නිසාම නියාමනය වෙලයි කියලලු.