පසුගිය දවසක කඩුවලට ප්රසිද්ධ වෙලක් තියෙන නගරයක ප්රකට විහාරස්ථානයක ආගමික උත්සවයක් තිබුණා... එතනට ආණ්ඩුවෙ මෙන්ම විපක්ෂයට සම්බන්ධ මැති ඇමැතිගොල්ලො ගණනාවක් ඇවිල්ලා හිටියා. එච්චර විතරක් නෙවෙයි රජයේ ප්රධාන පෙළේ නිලධාරි කස්ටියක් හිටියා.
ඔන්න උත්සවේ පටන් ගන්න කිට්ටු වෙනකොට පසුගියදාක ආණ්ඩුවෙ පට්ටමකින් ඉවත් කරපු කොළඹ දිසාවෙ බොහොම (කූල්) දේශපාලනයක් කරන මන්තිරි සයිස් මහත්තයෙක් ආවා. උන්නැහේ කලින් ආණ්ඩු ගණනක ඇමැතිකම් කරල මේ පාර කඩපොළකදි කට වරද්දගෙන පට්ටම ගැලවුණු කෙනෙක්...
ඉතින් මේ පන්සලේ පින්කම පටන් ගන්න කලින් එතන හිටපු ප්රධාන දායක මහත්වරු පැමිණ සිටි පිරිස අතට නෙළුම් මල් පොකුර බැගින් ලබා දුන්නා... ඒ වෙලාවෙ එතන හිටපු ආණ්ඩුව එක්ක කොක්කෙ ඉන්න ප්රාදේශීය දේශපාලුතුමෙක් අර පට්ටම ගැලවුණු මන්ත්රීතුමාට කිව්ව “සර් ඕක නම් ගන්න එපා. ඔය නෙළුම් පොහොට්ටුවෙන් තමයි මේ සේරම වුණේ..” කියලා.
එතකොට මද සිනහවක් මුහුණට නගාගත්ත (කූල්) මන්ත්රීතුමා මෙහෙම කිව්වා... “මේවා නෙළුම් පොහොට්ටු නෙවෙයි. පිපුණු නෙළුම් මල්. ඒක නිසා මේක ගත්තට වරදක් නැහැ...” කියල. ඊටපස්සෙ උන්නැහේ නෙළුම් මල් පූජා කරලා ආගමික වතාවත් කළා.