2023 ජනවාරි 08 වන ඉරිදා

දේව සමාගමෙන් තනතුරු ඉල්ලන ලොක්කෝ

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 529

කාකි සූට් දෙපාර්තමේන්තුවේ ළඟදිම හිස් වෙනවය කියන ලොකු පුටුව අල්ලගන්න ජ්‍යොතිෂ මෙහෙයුමක් දියත් කරලලු. කාකි සූට් දෙපාර්තමේන්තුවෙ ඉහළම ඉන්න දෙතුන් දෙනෙක් එකිනෙකාට හොරෙන් මේ සාත්තර මෙහෙයුමට බැහැලලු.
මේක කොයි තරම් දුරට ගිහිල්ලද කිව්වොත් දැන් පොලිසියෙ ඉන්න ලොකු ලොකු අයගෙ කේන්දර හොරෙන් උස්සපු එක්තරා පොලිස්පති ධුර අපේක්ෂකයෙක් ඒක සාත්තරකාරයකුට පෙන්නල ඇහුවෙ මෙයාල ඇත්තටම විශ්‍රාම යයිද සේවා දිගුවක් ලැබෙයිද කියලලු. එයා එහෙම අහපු බව සුළු මොහොතකින් පොලිසියේ ලොකු තැන්වලටත් වාර්තා වෙලා... ඒ අතරෙ පොලිසියෙ දෙවැනි තුන්වැනි පුටුවල වාඩිවෙලා ඉන්න තවත් කස්ටියක් ඔස්ට්‍රේලියාවෙ ඉඳල ලංකාවට ආපු සෑත්තර නෝන කෙනෙක් හම්බුවෙලා පොලිසියෙ මහ පුටුව ගැන හොරෙන් හොරෙන් සාත්තර අහන්න ගිහිල්ල පෝලිම් ගැහිල හිටියලු.

තවත් කස්ටියක් අනුරාධපුරේලු. තවත් කස්ටියක් කතරගමලු. මේ අයත් පූජා වට්ටි අරන් දේව සමාගමෙන් ඉල්ලන්නෙ පොලිසියෙ මහ පුටුව අරන් දෙන්න කියලලු... ඊටත් වඩා අපූරැ දෙයක් පසුගිය 31දා විශ්‍රාම ගන්න වුණ ඉහළ කාකි සූට් මහත්තයෙක් කළාලු... උන්නැහේ තමන්ගෙ තනතුර රුකගන්නත් ඊළඟ උසස් වීම ගන්නත් තමන්ගෙ ගෙදරම දේවාලයක් හදල දේව ප්‍රතිමා එහෙම ගෙනල්ල මාස ගණනක් පුද පූජා කළාලු. කොහොම හරි අන්තිමේදි වැඩේ හබක් වුණා...

මේකට කේන්ති ගිය උන්නැහේ තමන්ගෙ ගෙදර හදල තිබුණ දේවාලෙ කඩා දාල දේව පිළිම ටිකත් කඩල දැම්ම බව උන්නැහේගෙ සමීපතම නිලධාරී කස්ටිය ඉහළට වාර්තා කරල තිබුණය කියනව... මේ විදියට කාකි සූට් දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව ගන්න දෙවි දේවතාවුන් පස්සෙ යන දෙතුන් දෙනා ගැන ආණ්ඩුවෙ ඉහළම අයත් දන්නවලු. කොහොම හරි මේ සියලු දෙනා පුදුම කරන දෙයක් ඒ නිසා සිද්ධ වෙන්න පුළුවන් බවයි හරියටම තතු දත් අය කියන්නෙ.