අලුත් ආණ්ඩුකාරයන් පත් කිරීමේ කතාව නැගලම යන්න පටන් අරන්... කොහොම වුණත් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න කියල තිබෙන්නෙ ආණ්ඩුකාර හතර දෙනකුට විතරයිලු. ඒත් ආණ්ඩුවෙ සැලසුම තිබුණෙ ආණ්ඩුකාර පට්ටම් දරන පස් දෙනෙක්ම ගෙදර යවන්න...
කොහොම හරි මේ තීන්දුව ආණ්ඩුවෙ ලොකු මහත්තය අරගෙන ඉවරවෙලා ඒ ගැන අදහසක් ගන්න කලින් රටේ හිටපු ලොකු මහත්තයටත් කතා කළාලු.... මොකද මේ අය ඔය පට්ටම්වලට පත්කළේ උන්නැහේනේ... ඒ හින්ද හිටපු ලොකු මහත්තයගෙ මතයත් දැනගන්න එක හොඳ නිසයි එහෙම කතා කරල තිබෙන්නෙ.
ඔය සාකච්ඡාවේදී ඒ ඒ ආණ්ඩුකාර උන්නැහේලගෙ කෙරුවාවන් ගැන දිගට කතාබහ වෙද්දී ඉවත් කරන්න යෝජනා වෙච්ච පස්දෙනාගෙන් හතර දෙනෙක් ඉවත් කිරීම සම්බන්ධව හිටපු ලොකු මහත්තයත් ඒ හැටි අකැමැත්තක් පෙන්වල නැතිලු...
නමුත් උන්නැහේ ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් ගැන අදහස් දක්වමින් කිව්වෙ එයාට තවත් අවස්ථාවක් දීලා බලමු කියලලු...
ඒ අනුව වැඩේ තීන්දු වුණා. මේ විදියට තවදුරටත් පට්ටම දරන්න වාසනාව උදාවුණේ ඉර-බහින පළාතෙ ආණ්ඩුකාර තැනට කියලයි ආරංචි. ඒ අනුව උන්නැහේ නැතුව ඉතිරි හතරදෙනාට යන්න කිව්වලු...
ඊටපස්සෙ සමහරු කියනව ඒ යන්න කිව්ව හතර දෙනත් යන්නෙ නැහැ කියල. ඒ වුණත් ආණ්ඩුව පැත්තෙන් කියැවෙන්නෙ එයාලට යන්නට වෙන තැනට වැඩ සලස්සනව කියලයි.