2023 මැයි 28 වන ඉරිදා

හරුප වැස්සකට කොටුවූ එතුමා

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 740

ආණ්ඩුවේ එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදා අසැබි වදන් වරුසාවකට තෙමුණා කියලා ආරංචියි. උන්නැහේට මේ සංහදිය සිද්ධ වුණේ ප්‍රකට හිමිනමකගේ ආරාමයකදි. උන්නැහේ එතනට ගියේ අපවත් වූ නායක හිමිනමකට අවසන් ගෞරව දක්වන්නලු...

ඉතින් ඒ කටයුතු ඉවරවෙලා ආපසු යන්න හදද්දි ආරක්ෂක අංශවලට සම්බන්ධවෙලා උතුරේ මෙහෙයුම්වලින් රට බේරාගත්ත සෙන්පතියො කිහිප දෙනෙක් අසල හිටියා. උන්නැහේල කතා කර කර හිටියේ උතුරෙ බෞද්ධ පුරාවස්තුවලට මේ දවස්වල වෙන අලකලංචි ගැනලු.. මේ ඇමතිතුමන් ඒ විෂයට සම්බන්ධයි...

ඉතින් උන්නැහේ මේ සෙන්පතියො අසලින් යනකොට උන්නැහේල උතුරෙ පුරාවස්තු ප්‍රශ්නය ඇමැති තැනට මතක් කළා... ඒත් ඒ කතාව නොපිළිගත්ත ඇමැතිතුමා ''ඕව බොරු කතා.. ඕවට රුවටෙන්න එපා..'' කියල හෙමින්ම එතනින් යන්න හදනකොට ඇත්ත කතාව දන්න සෙන්පතියන්ට කේන්ති ගිහිල්ල ලොකු බහින්බස් වීමක් වුණාලු. ඒක ඉවර වුණේ වික්‍රමයන්ට නායකයෙක් වන ඇමැති තැන කුණුහරුප වරුසාවකට මැදිවීමෙන් කියලයි ආරංචි. අන්තිමේදි වැඩේ දුරදිග යන්න කලින් උන්නැහේ ආරක්ෂක කස්ටිය ඇමැති තැන වට කරගෙන යන්න ගියා කියලයි තතු දත් අය කියන්නෙ.