මහ හුළං, වැසි, කඳු කඩාවැටීම් නිසා රටට මහ ඇබැද්දියක් වුණු වෙලාවෙ හැමෝම හැරැණෙ ආපදා වැඩේ කළමනාකරණය කරගන්න තිබෙන ඇමැති අංශෙ දිහාවට. වෙච්ච වැඩෙන් කොච්චර හානියක් වුණාද කිව්වොත් දවස් දෙකක් යනකොට දෙතුන් සීයක ජීවිත හානි. ඒ වගේම පිරිසක් අතුරැදන්. ලක්ෂ ගාණකට උන්හිටිතැන් නෑ.
මෙහෙම උන්හිටිතැන් අහිමිවෙලා ඇඳිවත පිටින් දරුමල්ලොත් කරගහගෙන ආපු පිරිසට පිහිට වෙන්න අර ආපදා කළමනාකරණ ඇමැති අංසෙ කිසිම සූදානමක් තිබුණෙ නැතිලු. ජීවිත ගලවා ගත්ත කට්ටියගෙ සීතල මකන්න බ්ලැන්කට්, තාවකාලිකව රඳවන්න කුඩාරම් තියා ගිනිපෙට්ටියක්, ඉටිපන්දමක්වත් තිබුණෙ නැතිලු ඒ අයට බෙදලා දෙන්න. කිසිම සූදානමක් නැත්තෙ ඇයි කියලා මාද්දියෙ කට්ටිය ඇහැව්වම උත්තර දෙන්න හිටියෙ නිලධාරිතුමෙක් විතරයිලු. එතුමා කිව්වෙත් සූදානමක් නොතිබ්බ බව පිළිගන්න වෙනවා කියලලු.
කට්ටිය ඒ පාර මේ ඇමැති අංශෙ භාර බලවතා හෙව්වලු ඒ තරම් ප්රියදර්ශනයක් නොවන රටේ තත්ත්වය ගැන කියන්න. බලනකොට එතුමා එහා කෙළවරේ රටක තිබෙන ලෝක සමුළුවකට ගිහින්. ඒ සමුළුවෙදි කතා කරලා තියෙන්නෙ සොභාවික විපත්ති වෙනකොට ජීවිත, යටිතල පහසුකම් සහ ආර්ථිකයට සිදුවෙන හානිය අවම කරගන්න විදිය ගැනලු. සමුළුවෙදි කතා කරපු එක එතුමාගෙ ෆේස්බුකියෙත් දාලා තිබුණා පහුගිය දවසක.
වැඩේ කියන්නෙ එහෙම කියලා දවස් දෙකකින් තමන්ගෙ රටේ මහ සොබාවික විපත්තියක් වෙනකොට ඒ කියපු කිසිම සැලැස්මක් ක්රියාත්මක කරන්න තමන්ගෙ ඇමැති අංශෙ සූදානමක් නොතිබුණු එකයි. සමුළුව ඉවර වෙලත් දවස් ගාණක් ගියත් එතුමා ආපහු ආවෙ නැත්තෙ ඒක හින්දද දන්නෙ නෑ කියලයි කට්ටිය කියන්නෙ.