2023 ජුනි 17 වන සෙනසුරාදා

බලවතකුගේ රස රහසක්

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 813

අපිට මේ කතාව ඇහුනෙ දියවන්නාව පැත්තෙන්.... මුලින්ම කියන්න ඕන මේක රස කතාවක් වගේම කුණු කතාවක් බව....මේ කතාවෙ කතානායකයා දියවන්නාවෙ එක්තරා වැදගත් බලවත් කමිටුවක මහ පුටුවට බරදෙන පොරක්ලු...

දියවන්නාවෙ හඳ මාමා වගේ ඉන්න මුන්නැහේ දැන උගත් චරිතයක් හැටියටයි ප්‍රසිද්ධ.... ඉතින් අනේ මුන්නැහේගෙ සමහර කියුම් කෙරුම් ගැන පසුගිය දවස්වල දියවන්නාවෙ මහ කන්තෝරු දෙක තුනකටම බරපතල පැමිණිලි ලැබිල... ඒව ලැබිල තියෙන්නෙ එහේ වැඩකරන සුන්දර තරුණියන්ගෙන් බවයි ආරංචි...

''අහවලා අපෙන් අරව ඉල්ලනව. මේව ඉල්ලනව. ඒකට ආසයි. මේකට ආසයි කියනව ඒව නොදුන්නොත් බලාගමු.'' කියනව වගේ කතා තමයි මේ පැමිණිලිවල තියෙන්නෙ. අන්තිමට මේ උන්නැහේ වැඩකරන තැන්වල අපිට නැවත සේවයට යන්න බැහැ කියලත් ඒ සුන්දර තරුණියො මැතිසබේ වගකිවයුත්තන්ට කියල.

ඊටපස්සෙ මැතිසබේ ඉහළම තැනින් මේ ගැන සොයා බලනකොට කවුද කුමක්ද කෙසේද කියල මේ පැමිණිලිවල ඇත්ත තොරතුරු වාර්තා වුණා.

විපක්ෂයෙ ලොක්කෙක් වගේම ඇමැති සයිස් නෝනා මහත්තරුත් තවත් වැදගත් ඉහළ නිලතල දරන අයත් දියවන්නාවේ ප්‍රධානියාට ඔය කියන ''හඳ මාමා'' ගැන මේ ගැන පැමිණිලි ඉදිරිපත් කළා. ඒවට සවන්දීපු දියවන්නා කවුන්සිලේ ඉහළ ප්‍රධානියෙක් තමන්ගෙ නෑදෑ කෙනෙකුත්, කලකට පෙර ඔය තැනැත්තා ගැන පැමිණිලි කළ බව සඳහන් කළාලු....

ඉතින් මේක මාර බ්‍රහ්ම කතාවක් නිසා ඔය කියන වැදගතා නියෝජනය කරන පක්ෂයෙ ඉහළම තනතුරක් දරන කෙනෙකුට දියවන්නාවෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් කළා. ඒ වගේම ආණ්ඩුවෙ ඉහළම බලධරයන්ටත් මේ ගැන දැනුම් දීලලු...

දැන් හැමතැනම මේ කතාව සැල්වීනියා වගේ පැතිරෙන්න පටන් අරන්. ඉතින් මේ ප්‍රශ්නවලට මුහුණ දුන්න සුන්දර තරුණියො ඉක්මනට ප්‍රශ්නය විසඳෙයි කියල බලාගෙනලු ඉන්නෙ. ඒක එහෙම නොවුණොත් එයාල කස්ටියම ඉස්සරහට ඇවිල්ල මේ ''හඳමාම'' වගේ ඉන්න ලොක්කගෙ පට්ටන්දරේ මාධ්‍ය ඉස්සරහ දිගඅරින්න සැලසුම් කරන බවයි අපට ආරංචි වෙන්නෙ.