2023 ජුලි 15 වන සෙනසුරාදා

තනතුරු නැත්නම් අනතුරක්

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 479

අපි මේ කියන්න යන්නෙ ඇමැතිකමක් නොමැති හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ගැන. වැඩකාරයෙක් වගේම හිතුවක්කාර කටක් තිබෙන උන්නැහේට එකපාරක් කට වරද්දගෙන කල්දේරම් බතේ රස බලන්නත් සිද්ධ වුණා.

කොහොම නමුත් මුන්නැහේ ආණ්ඩු පක්ෂයේ ඇමැතිකම් අපේක්ෂා කරන අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න සීතල දිසාවක නායකයෙක්. තනතුරු ප්‍රශ්නය නිසා ආණ්ඩුවෙ ඉහළ තැන් එක්ක කොක්කෙ ඉන්න මුන්නැහේ පසුගිය සතියේ ආණ්ඩුවෙ ලොකුම තනතුරක් දරන මහත්තයෙක් ඉන්න මන්දිරේකට ගිහිල්ල ඒ බලවතා හම්බවුණා. හම්බවෙලා කතා කළේ තනතුරු ප්‍රශ්නය ගැනයි.

කතාව ටිකක් වෙලා යනකොට මේක විසඳුමක් නැති ප්‍රශ්නයක් බව පෙනුණා.... ඒ සමඟ කුකුල් කේන්තිකාරයෙක් වන උන්නැහේට මල පැන්න. මල පැනල ආණ්ඩුවෙ බලවත්ම චරිතයට බොහොම සැරෙන් කතා කළාලු. තමන් ඇතුළු පිරිසට තනතුරු නොදුන්නොත් දේශපාලන අනතුරු සිද්ධවෙන්න පුළුවන් බවත් තදින්ම කියා හිටිය බව ආරංචියි. හැබැයි ආණ්ඩුවෙ බලවතා මේවට උත්තර දෙන්න ගිහිල්ල නැහැ. සාවධානව අහන් හිටියලු... ඊට දවස් දෙක තුනකට පස්සෙ ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙ ලොකු රැස්වීමක් කැඳෙව්ව අලි පාටියයි - පොහොට්ටු කස්ටියයි. එකට වැඩ කිරීම ගැන කතා කරන්න... ඒ රැස්වීම ගැන ආරංචි වුණ මේ කටකාර හිටපු ඇමැති තැන තමන් දන්න අයට කතාකරල කිව්වෙ ඔය රැස්වීමට යනවට වඩා හොඳයි නොයෑම කියලලු...

එයාගෙ ඉල්ලීම කෙසේ වෙතත් පොහොට්ටුවේ ඉහළ තනතුරු දරන කිහිප දෙනෙක්ම ඒ රැස්වීමට ගිහිල්ල තිබුණෙත් නැතිලු...

ඔන්න ඔය විදියට දෙගොල්ල අතරෙ තනතුරු වලිය නැගලම යනව.