2017 ජුනි 17 වන සෙනසුරාදා

අමුතු ගේමක්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 638

ආණ්ඩුවෙ හවුල්කාර පක්ෂයක ඇමැති පට්ටමක් දරන මහත්තයෙක් අලුත් වැඩකට අතගහලලු...

මෙයා ආණ්ඩුවෙ ඉඳගෙනම ගහන්න යන පොඩි ගේම් එකක් හැටියටයි මේ වැඩේ ගැන තතුදත් අය කියන්නෙ. උන්නැහේගෙ අනුග්‍රහයෙන් දැන් කළුකෝට්ධාරී නීති කස්ටියක් එයාටම අයිති කන්තෝරුවක ඉඳන් විශේෂ පෙත්සමක් හදනවලු. 

ඒක හදන්නෙ ඉදිරියේදී ජිනීවාවල රැස්වන මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන්නය කියලත් ආරංචියි...

රටපුරා විසිරිලා ජීවත්වන තමන්ගෙ ජනතාවට රට තුළ සමහරුන්ගෙන් සිද්ධවෙන හිරිහැර ගැන පැමිණිල්ලක් කරන එකලු මේ පෙත්සමේ අරමුණ. පෙත්සමේ ඉදිරිපත් වන කරුණුවලින් වක්‍රව ආණ්ඩුවටත් දෝෂාරෝපණයක් සිද්ධවෙනවය කියලත් කියනවා. 

කොහොමහරි මේක තමන්ගෙ වැඩක් නෙවෙයි... තමන්ගෙ කස්ටියට සිද්ධවෙන හිරිහැර ගැන නීතිඥවරු ඉදිරිපත් කරන ලියවිල්ලක් හැටියට කරළියට ගේන්න කියලා ඇමැති තැන උපදෙස් දීලලු... 

පෙත්සම හදලා ඉවරවෙලා ඒක හදන්න සම්මාදම් වන අය අතේම ජිනීවා යවන්නත් සැලසුම් කරනවා කියලා කියැවෙනවා. ආණ්ඩුවෙ ඉඳගෙන ආණ්ඩුවෙන් සියලුම වරප්‍රසාදත් ලබාගෙන මේ විදියට බළල්ලු ලව්වා කොස් ඇට බාවන්න යන දේසපාලුතුමා පුත්තලං පැත්තෙ ආන්දෝලනාත්මක චරිතයක්ලු. 

එයා මේ අලුත් භූමිකාව රඟපාන්නෙ තමන්ගෙ මිනිස්සුන්ගෙ නායකයා වෙන්නය කියලත් සමහරු කියනවා.