2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මොකද මේ වුණේ

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 603

මැංගුස්ටින්වලට ප්‍රසිද්ධ පළාතකින් කවුන්සිලේට ආපු එක්තරා ප්‍රබල දේශපාලන භවතෙක් පසුගියදා රටේ ලොකුම තැනකට ගියේ තමන්ල හදාගත්ත මහ ගෙදර දාලලු.

පෙරාපු රත්තරන් වගේ හොඳ පිරිසිදු හදවතක් ඇති මේ දේශපාලන භවතා පක්ෂ මාරු කළ එක ගැන එක එක කතා කිව්වත් ඒ සේරම බොරු බවයි උන්නැහේ කියන්නෙ. කොහොම නමුත් පක්ෂ මාරු කළ මේ දේශපාලුතුමාට අලුත් ගෙදරින් ලැබෙන්නෙ කුඩම්මගෙ සැලකිල්ලලු. තමන් කලින් හිටපු පක්ෂයෙ රැස්වීම්වල මුල් පේළියෙ අසුන් ගත්ත මුන්නැහේට අලුත් පක්ෂයෙ රැස්වීම්වලදි ලැබෙන්නෙ හතරවැනි පේළියෙ ආසනයක්ලු. ඉතින් මෙයා කරන්න දෙයක් නැතිකමට මූණ චොර කරන් එතැන අසුන් ගන්නවලු.

ඒ වගේම පසුගිය කාලෙ හැමදාම උදේට තමන්ගෙ ගෙදරට තමන් හමුවෙන්න ආපු පාක්ෂිකයො හිතවතුන් එහෙම දැන් කවුරුවත් එන්නෙ නැතිලු. ගෙදර දැන් පාළු වෙලා ගිහිල්ලලු. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න එයා ට්‍රයි කරනවලු. නමුත් එයාට තිබුණු පිළිගැනීම නැති එක ගැන හරිම අප්සෙට් එකේ ඉන්නවය කියලයි ආරංචි.