2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

මාරුවට බලපෑ ඇත්ත හේතුව

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 780

උතුරෙන් මධ්‍යම පළාතෙ ආණ්ඩුකාර පට්ටමට ආපු කුරේ තුමා එක දවසින් ආපසු යාපනේටම පත්වුණා. කාලයක් තිස්සෙ සාකච්ඡා කරල ආණ්ඩුවෙ බලධාරීන් කරපු මේ පත්වීම එකපාරටම අවලංගු කරන්න සිද්ධවුණ එකට බලපෑ හේතු ගැන නොයෙක් කතා ප්‍රසිද්ධ වුණා. එයින් වඩාත් ප්‍රසිද්ධ කතාව වුණේ කුරේ තුමාම නැවත උතුරට පත් කරන්න කියල උතුරෙන් ඉල්ලීම් ලැබීම කියන එකයි...

ඒත් ඊට වඩා වෙනස් බොහෝ දෙනා ප්‍රසිද්ධියෙ කතා කරන්නෙ නැති හේතුවකුත් මේ මාරුව යට තිබුණලු. ප්‍රදේශයෙ ඉන්න ඇතැම් නායක කාරකාදීන් අපි කාටවත් පාලනයක් නැති පෞද්ගලික හේතුවක් ඉදිරිපත් කරල කුරේ උන්නැහේ වෙනුවට වෙනත් කෙනෙක් උඩරටට ඉල්ලුවලු. ඒ අනුවලු අලුත් ආණ්ඩුකාර තැන හැටියට රජරට දිසානායක උන්නැහේ පත් කළේ.

මේ වගේම සිද්ධියක් කලකට පෙර මහනුවරට ගිය සුප්‍රකට දිසාපතිවරයකුටත් සිද්ධවුණ බව ආරංචියි... මෙවැනි දේවල් ලංකාවෙ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙනුත් අපිට අහන්න ලැබෙනව. ඉන්දියාවට ව්‍යවස්ථාව හැදූ මහා නීති විශාරද සහ එරට මුල්ම නීති ඇමැති අම්බෙඩ්කාර්තුමාට, ඒ රටේ පසුකාලෙ ජනාධිපති වෙච්ච නාරායනන්තුමා වගේ අයටත් මේ වගේ අමුතු සැලකිලි ලැබීම ප්‍රසිද්ධ කතාවක්. ඒ ප්‍රශ්න නිසා අම්බෙඩ්කාර්තුමා තමන්ගෙ ආගම වෙනස් කරල බුද්ධාගමටත් ආව. එහෙව් ගරැකටයුතු ආගමක් අදහන අපේ රටේ තවමත් මේ වගේ දේවල් සිදුවෙනව නම් ඒක යුක්තිසහගතද කියලයි අහන්න ඕනැ.