තමන්ගෙ පාටියෙ ඉහළම තනතුරට පෙරුම් පුරන ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව. ඈත පළාතක් නියෝජනේ කරන මුන්නැහේ තමන්ගෙ පාටියෙ වැඩකාරයෙක් හැටියට ඒ පක්ෂයේ උදවිය පිළිගන්නව....
උන්නැහේ කලකට පෙර මේ රටේ බැබළුණු නායකත්ව පවුලක කෙනෙක්...
ඉතින් මුන්නැහේ පසුගියදාක රජරට පළාතෙ උත්සව ගණනාවකට සහභාගි වෙන්න ගියා. උත්සව විවෘත කිරීම් යනාදිය ඉවර වුණාට පස්සෙ උන්නැහේ ඇතුළු කොළඹින් ගිය ලොක්කන්ට කෑම බීම සංග්රහය සූදානම් කරල තිබුණෙ රජරට පළාතෙ ගමක ප්රබල පාක්ෂික නිවසක...
තමන්ගෙ පාටියෙ ලොක්කන් ගෙදරට දිවා ආහාරයට එන නිසා ගෘහපති තැන මඟුල් ගෙයක් වගේ ගෙදර සරසලා මඟුල් මේසයක් වගේ ජයට සරුසාරෙට බොහෝම අපූරැ කෑම මේසයක් ලෑස්ති කරලා තිබුණා... රසවත්ම කෑම බීම දීසි තිහ හතළිහක් එක්ක සූදානම් කරල තිබුණ කෑම මේසයට ඇමැති අමුත්තා ඇතුළු පිරිස බොහොම ගෞරව පුරස්සරව කැඳවා ගෙන ගිහිල්ල උන්නැහේලට කෑම මේසෙ පිළිගැන්නුවා...
දැන් මේසෙ වටේ හිටපු ගෘහපති තැනයි එයාගෙ පවුලෙ උදවියයි බොහෝම ආසාවෙන් බලා හිටියෙ ප්රධාන අමුත්තා තමන්ගෙ ආහාරවේල භුක්ති විඳිනකම්.
ඒත් අනේ එතන සිද්ධ වුණේ අමුතු වැඩක්... ඇමැති අමුත්තා කෑම මේසේ වාඩිවෙලා ඉන්න ගමන් තමන්ගෙ ආරක්ෂක භටයකුට සංඥා කළා. එතකොටම එයා ඇවිල්ල ඇමැති තැන ඉස්සරහින් ප්ලාස්ටික් කෑම පෙට්ටියකුත් වතුර බෝතලේකුත් තිබ්බා... අනෙක් අයට මේසෙ කෑමකන්න කියල ඇමැති අමුත්තා ආරක්ෂක භටය දුන්න කෑම පෙට්ටියෙන් සැන්විච් දෙකක් අරන් කාලා වතුර බෝතලෙන් වතුර බීල නැගිට්ටා....
මඟුල් මේසයක් වගේ කෑම මේසේ සූදානම් කරපු ගෘහපතිතුමා කනස්සල්ලෙන් බලා ඉඳිද්දි ඇමැති අමුත්ත ආපහු යන්න පිටත්වුණා....