අලුත් කැබිනට්ටුව පත් කරන්න ගිහිල්ල ගෝරි ගොඩයි. ලොකුම ගෝරිය ගියේ සල්ලි බාර ඇමැතිකමටලු. කොළඹ ආර්ථික ගුරුතුමයි අලුත් ආණ්ඩුව හදන්න කපුකම පටන් ගත්ත උඩරට කටකාරයයි දෙන්නම සල්ලි බාර රස්සාව ඉල්ලලා...
මේකට දෙන්නම ලොකු ලොකු සද්ද බද්ද දැම්මලු. ගුරුතුමා තමන්ගෙ බලමණ්ඩලේ කැඳවල යෝජනාවකුත් දැම්මා කියලයි ආරංචි.
උඩරට කටකාරයා රටේ ලොකු මහත්තය ළඟටයි ළඟදි පත්වුණ දෙවැනි මහත්තය ළඟටයි දුව දුව “එතුමා නම් මට මේ පට්ටම දෙන්න කැමතියි. ඉතින් ඔබතුමාගෙ කැමැත්තයි ඕන” කියල දෙන්නටම කියලලු. ඒ බව දැනගත්තෙ ඇමැති පට්ටම් ගැන කතාවට දෙපැත්තෙ දෙන්න හම්බවුණ වෙලාවෙලු...
ඉතින් කොහොමින් කොහොම හරි ඔය පට්ටමට මේ දෙන්නගෙම සටන උග්ර වුණා. තමන්ට මේ තනතුර නැත්නම් වෙන මොනවත් ඕන නැහැ කියලා ගුරැතුමා කිව්ව බවත් ආරංචියි.
ඉතින් මේ අවුඅස්සෙ සල්ලි බාර කන්තෝරුවට අලුතෙන් පත්වෙන්න යන ඉහළම නිලමෙලා දෙතුන් දෙනකුත් කීවලු... “අනේ අපොයි ඔය දෙන්නගෙන් කවුරුහරි ඔතෙන්ට එනව නම් අපි නම් තනතුරු ගන්නෙ නැහැ” කියලා...
ඒ විදියට ප්රශ්නය පැටළුණු නූල් බෝලයක් බවට පත්වෙන්න ගියාම ගෝරිය බේරාගැනීමේ අරමුණින් රටේ දෙවැනි මහත්තය අතට සල්ලි බාරදෙන්න ලොක්ක තීන්දුවක් ගත්තා.. ඒත් එක්ක කනස්සල්ලට පත් කපු-ගුරු දෙන්න දැන් විස්සෝපෙන් ඉන්නවලු.