උතුරට අලුතෙන් ආව ආණ්ඩුකාර තැන බුදුපිළිම පිහිටුවීම ගැන කරපු කතාවක් සෑහෙන දුරදිග ගියා... උන්නැහේ තමන්ගෙ කතාවෙන් කිව්වෙ උතුරු නැගෙනහිර පළාතෙ තැන් තැන්වල බුදුපිළිම පිහිටුවීම හොඳ මදි බවයි.
තමන් බුද්ධාගම හොඳට දන්න කෙනෙක් හැටියට ඒ ගැන සතුටක් නැති බවත් ආණ්ඩුකාර තැන සඳහන් කළා...
ඒ ගැන පොහොට්ටුවෙ මන්තිරිලත් තවත් සංවිධාන කිහිපයකුත් හිටපු ලොකු තැනට ලොකු පැමිණිල්ලක් කළා...
එයාල කිව්වෙ ආණ්ඩුකාර තැන අලුත් පුටුවෙ වාඩිවුණු ගමන් කරපු මේ කතාවට රිදෙන්න ගහන්න ඕනය කියලලු...
ඒත් ඒක එකපාරටම කරන්න එපා කියල තමන්ගෙ දේශපාලන සගයන් අස්වසපු හිටපු ලොකු තැන රටේ ලොකු මහත්තය මුණගැහිලා මේ ගැන තමන්ගෙ මන්තිරි ගොල්ල දක්වන විරෝධය පැහැදිලි කළා. මින් ඉදිරියට ඒ වගේ කතා නොකියන ලෙස ආණ්ඩුකාර තැනට අවවාද කළ යුතු බවත් කීවලු...
හිටපු ලොකු තැනගෙ යෝජනාව පිළිගත් රටේ ලොකු මහත්තයා උතුරෙ ආණ්ඩුකාර තැනට කට වරද්දගන්න එපා කියල සැර අවවාදයක් දුන්න බවයි ආරංචි.